සංචාරක වීසා මත මෙරටට පැමිණ ගණිකා වෘත්තියේ නිරත වීම සම්බන්ධයෙන්  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගතකොට සිටි තායිලන්ත ජාතික තරුණියන් 28 දෙනකුට වසර 10ක අත්හිටුවූ සිරදඬුවම් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියම
කළාය.

ඔවුන් මුල් අවස්ථාවේ වරද පිළිගැනීම සලකා  ඔවුන් හට නියම කළ මාස 6ක සරල සිරදඬුවම මහෙස්ත්‍රාත්වරිය වසර 10කට අත්හිටුවනු ලැබුවාය. එම 28 දෙනාගෙන් 16 දෙනකු වීසා නොමැතිව මෙරට රැඳී සිට වීසා කොන්දේසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එම 16 දෙනාට 1,50,000 බැගින් මහෙස්ත්‍රාත්වරිය දඩ නියම කළාය.

ආගමන විගමන පාලන පනත උල්ලංඝනය කිරීම යටතේ පොලිසිය මගින් ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි. අදාළ ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සහ පවත්වාගෙන ගිය ශ්‍රී ලාංකික කාන්තාවට ලක්ෂ 2ක දඩයක් මහෙස්ත්‍රාත්වරිය නියම කරමින් අවුරුදු 10ක අත්හිටුවූ සිරදඬුවද නියම කළාය. අදාළ කාන්තාවට පෙර වැරැදි නොමැති වීම සහ මුල් අවස්ථාවේම වරද පිළිගැනීම සඳහා ඇයට නියම කළ වසරක බර වැඩ සහිත සිරදඬුවම මහෙස්ත්‍රාත්වරිය විසින් අවුරුදු  10කට අත්හිටුවනු ලැබුවාය.

ගණිකා නිවාසය පවත්වාගෙන ගිය එම කාන්තාව සාරා මහේන්රෝ නමැත්තියකි. සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් අදාළ කාන්තාව කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේදී ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති අතර උපාය දූතයෙක්  යොදවා දකුණු කොළඹ පොලිස් දූෂණ මර්දන ඒකකය විසින් සිදුකළ මෙහෙයුමකදී අදාළ කාන්තාවන් පිරිස පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණු අතර කොල්ලුපිට්ස් පොලීසිය මගින් කාන්තාවන් පිරිස අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

-අමිල අබේරත්න-