හෙරොයින් ග්‍රෑම්ස් 21.67 ක ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීමේ අධිචෝදනා  දෙකට වරදකාරිය බවට නිගමනය කොට කාළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කොට තිබූ විත්තිකාරියක මරණ දණ්ඩන නියෝගයෙන් නිදහස් කර හැරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

ආර්. මංගලිකා නමැති  එම විත්තිකාරියට එරෙහිව  නීතිපතිවරයා ගොනුකර තිබූ නඩුවේ සාක්ෂි විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි  ලබාදුන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව ඇතුළු පොලිස් නිලධාරින් සිව්දෙනාගේ සාක්ෂිවල 

පැවැති බලවත් පරස්පරතාවන් නොසලකා හරිමින් උගත් මහාධිකරණ විනිසුරු එකී තීන්දුව  ලබාදී ඇති බව පෙන්වා දෙමින්  ජ්‍යෙෂ්ඨ නීතිඥ ගයාන් පෙරේරා මහතා කළ කරුණු දැක්වීම අනුමත කළ එස්. තුරෙයිරාජා හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල එම නියෝගය කළේය.

පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දුන් වැටලීම සිදුකළ පොලිස් නිලධාරින්ගෙන් විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගයාන් පෙරේරා මහතා නැගු හරස් ප්‍රශ්නවලදී වැටලීමට ආදළව තිබූ පිටවීම්, පැමිණීම් සටහන් මෙම වැටලීමට ගිය වාහනයේ අංකය පවා අවස්ථා කිහිපයකදීම  පරස්පර ආකාරයෙන් පිළිතුරු ලබාදීම ඇති නමුත් උගත් මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දු ප්‍රකාශයේදී ඒ සම්බන්ධයෙන් සලකා බැලීමක් කර නොමැතිවීම බලවත් අඩුපාඩුවක් බවද අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සිය තීන්දුව මගින් පෙන්වා දී තිබුණි.

මේ අනුව විත්තිකාරිය චෝදනාවන්ගෙන් නිදහස් කර හැරීමට නියම කරන ලදී.  අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසුරිය මහතාට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ ප්‍රබා හේමන්ති පෙරේරා මහත්මිය සමග ජ්‍යෙෂධ්  නීතිඥ ගයාන් පෙරේරා මහතා පෙනී සිටියේය.

-නිශාන්ති රාමනායක-