විනිසුරුවන් හා නීතිඥවරුන් බහුතරයක්‌ දූෂිතයන් යනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය  රන්ජන් රාමනායක මහතා ප්‍රසිද්ධියේ කළ  ප්‍රකාශයෙන් උසාවියට අපහාසයක්‌ කර ඇති බවට ඔහුට එල්ල වී ඇති චෝදනා සියල්ල ඊයේ විවෘත අධිකරණය හමුවේ කියවා එම චෝදනා පත්‍රය ඔහුට භාර දුන්නේය.
ඒ පිළිබඳ නඩුව ලබන සැප්තැම්බර් 05 දා විභාග කරන බවත් එදින උසාවියේ පෙනී සිටින ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට ඊයේ (08 වැනිදා) දැනුම් දුන්නේය.

නීතිපතිවරයා විසින් රාමනායක මහතාට එරෙහිව චෝදනා 04 ක්‌ මෙම නඩුවෙන් එල්ල කර ඇත.

චෝදනා කියවා දීමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ නීතිපතිවරයා විසින් රාමනායක මහතාට එරෙහිව සකස්‌ කර තිබූ චෝදනා පත්‍රය සංශෝධනයකින් තොරව පිළිගන්නා බවයි. ඒ චෝදනා අනුව ඉදිරියේදී නඩු විභාගයක්‌ පැවැත්වීමට තීරණය කළ බවද අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා සඳහන් කළේය.


චෝදනා කියවාදීමෙන් පසුව චෝදනාවලට වැරදිකරුද නැද්ද යැයි විමසා සිටි විට රාමනායක මහතා කියා සිටියේ තමා නිවරදිකරු බවයි.

මේ අවස්‌ථාවේදී රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේ චෝදනා 04 න් 2 ක්‌ පිළි නොගන්නා බවයි.

නඩුව විභාගයට ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන බවද ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා පැවැසීය.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, ප්‍රසන්න ජයවර්ධන සහ නලීන් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ ඊයේ මෙම නඩුව කැඳවන ලදී.

නඩු විභාගයේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන සාක්‍ෂිකරුවන්ගේ නම් ලැයිස්‌තුවක්‌ කල්වේලා ඇතිව උසාවියට ඉදිරිපත් කරන ලෙසද අගවිනිසුරුවරයා දෙපාර්ශ්වයටම දැනුම් දුන්නේය.

සාක්‍ෂිකරුවන් ඉදිරිපත් කරන බව නීතිපතිවරයා

වෙනුවෙන් පැමිණිල්ලට පෙනී සිටින ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත  මහතාත් විත්තියේ නීතිඥ සුමන්තිරන් මහතාත් පැවැසූහ.

රාමනායක මහතා විනිසුරුවන් සම්බන්ධයෙන් එවැනි ප්‍රකාශයක්‌ කර ඇති බවට පැමිණිල්ල කළ මාගල්කන්දේ සුදත්ත හිමි සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු වන සුනිල් පෙරේරා මහතා විසිනි. රාමනායක මහතා කළ ප්‍රකාශය පැහැදිලිව උසාවියට අපහාසයක්‌ හා නිගරුවක්‌ බැවින් ඒ වරදට ඔහු උසාවියට කැඳවා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 105(3) වගන්තිය යටතේ නඩු විභාගයක්‌ පවත්වා සුදුසු දඬුවමක්‌ නියම කරන ලෙසද ඔවුහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියහ.

ශ්‍රේෂ්ඨාධිකරණය රාමනායක මහතාට එරෙහිව නඩු විභාගයක්‌ පැවැත්වීමට තීරණය කළේ ඔහු කළැයි කියන කතාව පටිගත කළ හඬ පටය සිරස මාධ්‍ය ජාලයෙන් ගෙන්වා පරීක්‍ෂා කර බැලීමෙන් අනතුරුවයි.

-සරත් ධර්මසේන, - ජූඩ් ඩෙන්සිල් පතිරාජ