ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන 'එස්.එල්.සී ඊ20 ලීග්' අන්තර් පළාත් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය හෙට (21දා) ආරම්භ වීමට නියමිත අතර තරගාවලිය සැප්තැම්බර් 2වැනිදා දක්වා
කොළඹ ආර් ප්‍රේමදාස, රංගිරි දඹුලු හා මහනුවර පල්ලෙකැලේ යන ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගනිමින් දිවා සහ රාත්‍රි තරග ලෙස පැවැත්වේ.

කොළඹ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර ලෙස පළාත් කණ්ඩායම් 4ක් තරග වදින මෙම තරගාවලියේදී පිළිවෙළින් එම කණ්ඩායම්වල නායකත්වය දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, සුරංග ලක්මාල් සහ ඇන්ජිලෝ මැතිව්ස් යන ක්‍රීඩකයන්ට හිමිව ඇත. තවද ලීග් තරග වටය අවසානයේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක සැප්තැම්බර් 2 වැනිදා කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගනී.


ඒ අනුව මෙම තරගාවලියේ සමාරම්භක තරගය ලෙස කොළඹ කණ්ඩායම හා ගාල්ල කණ්ඩායම අතර තරගය හෙට පස්වරු 2ට ආරම්භ වීමට නියමිත අතර පස්වරු 7ට මහනුවර සහ දඹුල්ල කණ්ඩායම් අතර තරගය පැවැත්වේ. තවද දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ස්ථානයක් අහිමිව සිටි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගත් මහනුවර කණ්ඩායමේ සංචිතයට ඇතුළත් කර තිබීමද විශේෂත්වයකි.

එමෙන්ම ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් තුන බැගින් මෙම සංචිත සඳහා ඇතුළත් කර ඇති අතර සෑම තරගයක් සඳහාම ඉන් එක් ක්‍රීඩකයකු අනිවාර්යෙන්ම ක්‍රීඩා කළ යුතු බවද තරග සංවිධායකයෝ පවසති. ශූරතාව හිමිකරගන්නා කණ්ඩායමට රුපියල් මිලියන 2ක තෑගි මුදලක් පිරිනැමෙන අතර අනුශූරයන්ට මිලියන 1.5ක මුදලක් පිරිනැමේ. රෝයි ඩයස් ගාල්ල කණ්ඩායමේ පුහුණුකරු ලෙසත් අවිශ්ක ගුණවර්ධන කොළඹ කණ්ඩායමේ පුහුණුකරු ලෙසත් කටයුතු කරන අතර නුවර කණ්ඩායමේ පුහුණුකාරීත්වය පියල් විජේතුංග විසින්ද දඹුල්ල කණ්ඩායමේ පුහුණුකාරීත්වය සුමිත්‍ර වර්ණකුලසූරිය විසින්ද හොබවනු ලබයි.