මත්තේගොඩ පුබුදු මාවතේ තරුණියක සමඟ ඇති වූ පෙම් හබයක් විසඳා ගැනීමට ඉකුත් නිකිණි පුර පෝදා අලුයම පෙම්වතියගේ නිවසට අයුතු ලෙස ඇතුළු වීමට උත්සාහ දැරූ විවාහකයකු ගම්වාසීන්ගේද සහාය ඇතිව අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ
නුගේගොඩ පදිංචි (34) විවාහකයකු බව පොලිසිය කියයි.

සැකකරු හා තරුණිය අතර මීට මාස 8 පමණ සිට ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන  ගොස් ඇති අතර මීට මසක පමණ සිට සැකකරු විවාහකයකු බවට තරුණිය දැනගෙන මෙම සබඳතාව නවතා දමා ඇත.

දෙදෙනා අතර ඇති වූ හබයක් විසඳා ගැනීමට සැකකරු මෙසේ තරුණියගේ නිවෙසට පෝදා අලූයම පැමිණ ඇතැයි පොලිසිය පවසයි. සැකකරු නිවසට ඇතුළු වීමට සැරසීමේදී  එකවරම තරුණියගේ මව සිල් සමාදන් වීම සඳහා විහාරස්ථානයට යැමට නිවෙසින් පිටතට  පැමිණ ඇත. ඇය සැකකරු දැක කෑගැසීමත් සමඟ ඇගේ කෑගැසීම නවතාලීමට සැකකරු මවගේ මුඛය හා ගෙල තදින් අල්ලාගෙන ඇති බව පොලිසිය කියයි. ඇයගේ කෑගැසීම ඇසී නිවැසියන් එළියට පැමිණීමේදී මවගේ ගෙල මිරිකා සිටින සැකකරූ දැක ඔවුන්ද කෑගසා ඇති අතර එය ඇසී අසල්වාසීන්ද එම නිවෙසට පැමිණ සැකකරු අල්ලාගෙන පහර දී ගස් බැඳ පොලිසියට භාර දී ඇතැයි පැවැසේ.

තුවාල ලබා සිටි තරුණියගේ මව ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ අතර ඇයගේ තත්ත්වය සාමාන්‍ය බවද පැවැසේ. සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

-හෂාන් පුෂ්පිත-