රෝගියකු රැගෙන පාදුක්ක දිසා රෝහලට පෙරේදා (13) රාත්‍රී 9ට පමණ පැමිණි පුද්ගලයන් පිරිසක් එහි රාජකාරියේ නිරතව සිටි රෝහල් සේවකයන් දෙදෙනකුට පහරදී රෝහලේ තබා තිබූ පුටු රැසකට දැඩි
අලාභහානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනකු පෙරේදා (13) රාත්‍රියේදීම සැකපිට අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලීසිය පවසයි.උදරයේ  අමාරුවකට ප්‍රතිකාර  ලබා ගැනීම සඳහා පුද්ගලයෙකු පෙරේදා (13) දින රාත්‍රී 9.00ට පමණ පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර එම 

අවස්ථාවේදී රෝගියා සමග පැමිණි පිරිස පාවහන් පැලඳ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු වන විට රෝහලේ සේවකයකු පාවහන් ගලවා තබා ඊට ඇතුළුවන ලෙස පවසා ඇත.

 රෝගියා සමග පැමිණි පිරිස එම අවස්ථාවේදී රාජකාරියේ නිරතව සිටි රෝහල් සේවකයන්ට බැණ වැදී රෝහල් සේවකයන් දෙදෙනකුට පහරදී පුටු කිහිපයක් පොළවේ ගසමින් කාර්යභාර වෛද්‍යවරියට අසභ්‍ය වචනයෙන් බැණ වැදී පලා ගිය බවට පාදුක්ක රෝහල මගින්  පාදුක්ක පොලීසියට පැමිණිල්ලක් කර තිබූ බවද පොලීසිය පවසයි.
ඒ අනුව පාදුක්ක රෝහලට පැමිණි පොලිස් නිලධාරින් රෝගියා ඇතුළත් කිරීමට ලබා දුන් ලිපිනය ඔස්සේ ගොස් ලිපිනයේ සඳහන් නිවසේ සිටි අදාළ සැකකරුවන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහලේ කාර්යභාර වෛද්‍යවරිය හමුවට පමුණුවා තිබේ.
එහිදී මෙම සැකකරුවන් දෙදෙනාගෙන්ම මත්පැන් ගඳ වහනය වන බවටත් දෙදෙනාම මත්පැන් පානය කර ඇති බවටත් වෛද්‍යවරිය විසින් වාර්තාවක් ලබා දුන් බව පොලීසිය පවසයි.

පහර කෑමට ලක් වූ රෝහල් සේවකයකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම දිසා රෝහලට ඇතුළත් කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 20ත් 22ත් වයසේ පසුවන වටරැක ගාලබැදිහේන ප්‍රදේශයේ පදිංචිකරුවන්  බවත් එම දෙදෙනා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බවත් පාදුක්ක පොලීසිය පවසයි.

-නිසල් යොවිදු-