පාළු ඉඩමක පිහිටි කජු ගසක අත්තක නයිලෝන් ලණුවකින් එල්ලෙමින් තිබූ මළ සිරුරක් හිරිපිටියට නුදුරු අලුත්ගම ගම්මානයෙන් ඉකුත් 14 වැනිදා අසල්වසින් පිරිසකට හමුවී ඇත. මෙම මළසිරුර නිකදළුපොත මැහිඇල්ලවත්තේ කුරුප්පු ආරච්චිලාගේ චන්ද්‍රදාස නමැති 64 හැවිරිදි සිවුදරු පියකුගේ බව ඔහුගේ පවුලේ අය
විසින් හඳුනාගෙන තිබේ.

වැල්ලව පොලීසියට මේ පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් අනුව මහගල්බඩ එගොඩ කෝරලේ හදිසි මරණ පරීක්ෂක ඩබ්ලිව්.ඊ.එම්.අයි.යූ. වීරසේකර මහතා විසින් පරීක්ෂණ කටයුතු ආරම්භ කරන ලදී.

 මෙහිදී මියගිය අයගේ විවාහක බිරිය වන දහනක රාලලාගේ ගුණරත්මැණිකා සහ සම්පත් ප්‍රදීප් ලක්ෂාන් යන අය සාක්ෂි දුන්හ. කිරිගවයන් ඇති කිරීම ජීවිකාව වශයෙන් කළ මියගිය අය දිනපතා පත්තරය බලන්නට යන බව කියා ඉකුත් 13 වැනිදා උදේ නිවසින් පිටවී ගිය නමුත් පසුදින (14දා) උදේ වනතුරුත් ආපසු නොආ නිසා සොයා බලද්දී පාළු ඉඩමක කජු ගසක අත්තක එල්ලෙමින් තිබී ඔහුගේ මළසිරුර හමුවූ බව එම සාක්කිවලින් කියැවිණි. කුරුණෑගල ශික්ෂණ රෝහලෙහි  අධිකරණ වෛද්‍ය නිලධාරී එන්.එම්.ඩී.බී. නායයකරත්න මහතා විසින් මළ සිරුර කපා පරික්ෂා කිරීමෙන් පසු ඉදිරිපත් කරන ලද වාර්තාව හා අනෙකුත් සාක්ෂි අනුව මෙය ගෙල වැලලා ගැනීම නිසා සිදුවූ හදිසි මරණයක් හා සියදිවි නසා ගැනීමක් බව මරණ පරීක්ෂකවරයා නිගමනය කළේය