කොටහේන ජම්පටා වීදියේදී අඹුසැමි යුවළක්‌ වෙඩිතබා ඝාතනය කිරීම, අලුත්කඩේ අධිකරණය අසලට කොස්‌මල්ලී නමැත්තාගේ හිස ගෙනැවිත් දැමීම ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ පාතාල කල්ලියක සහෝදරයන් දෙදෙනකු
කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් පෙරේදා (20 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

 මෙම සොහොයුරන් දෙදෙනා ජම්පටා වීදියේ මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කාරියක වූ සෙල්ලි නමැත්තියගේ දරුවන් බවද පොලිසිය පවසයි.


 තම මව ඝාතනය කළ සහ පියාට වෙඩි තබා බරපතළ තුවාල සිදුකළ පාතාල කල්ලියට සම්බන්ධ පුද්ගලයන් මොවුන් විසින් ඝාතනය කර ඇති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

 මෙම සොහොයුරන් දෙදෙනා සියලු ඝාතන සිදුකර ඇත්තේ ඩුබායිහි සැඟවී සිටින මාකඳුරේ මධුෂ් සහ ඔහුගේ සමීපතම සඟයා බව කියන කන්චිපාන ඉම්රාන් නමැත්තාගේ නියෝග සහ උපදෙස්‌ මත බවද විමර්ශනවලින් හෙළිවී ඇත.

 ජම්පටා වීදියේදී අඹුසැමි යුවළක්‌ වෙඩි තබා ඝාතනය කිරීම මෝදරදී පූකුඩිකන්නා නමැති පාතාල නායකයාගේ පියා වෙඩි තබා ඝාතනය කිරීම, ජම්පටා වීදියේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වෙඩි තබා මරා දැමීම ඇතුළු තවත් අපරාධ රැසකට මෙම සොහොයුරන් දෙදෙනා සම්බන්ධ බව අනාවරණය වී තිබේ.


 කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ නිශාන්ත සොයිසා මහතාට ලැබුණු තොරතුරකට අනුව මෙම පාතාල සොහොයුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් තොගයක්‌ සමග වැල්ලම්පිටිය ප්‍රදේශයේ දීය.

 පසුව මොවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනවල තොරතුරු අනාවරණය වූ බව අපරාධ කොට්‌ඨාසය පවසයි.

 අඟුණකොළපැලැස්‌සේදී ඝාතනය කළ කොස්‌මල්ලී නමැති පාතාල සාමාජිකයාගේ හිස කොටස කොළඹ අලුත්කඩේ අධිකරණය අසලට ගෙනැවිත් දමා ඇත්තේ ද මෙම සොහොයුරන් විසින් බව හෙළිවී ඇත.