සිය පියාගේ අඩි පාරේ යමින් අයියාත් මලීත් සිය පියා සමඟම පැවිදි දිවියට පත්ව නිවන් මඟ සොයා යන අපේ කාලයේ ස්වාමීන් වහන්සේළා තුන් නමක් මාතර ඌරුබොක්ක මැකිලියතැන්න චිත්ත සමාධි ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටිති. බුදු සසුනේ අභිවෘද්ධිය වෙනුවෙන් තමන් මෙම සිය දරුවන් දෙදෙනාත් ශාසනයට
පූජා කරමින් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කැපවී සිටින ස්වාමීන් වහන්සේ තුන් නම පිළිබඳ කතාවයි මේ.
මෙසේ පැවිදිව සිටින්නේ පියා වන ඌරුබොක්ක මැකිලියතැන්න දළුක්ගල චිත්ත සමාධි ආරණ්‍ය සේනාසනාධිපති ගින්නලියේ සමිත හිමි වයස අවුරුදු 70, ලොකු පුතා වන කැටවල වජිර හිමි වයස අවුරුදු 15 සහ බාල පුතා වන ගින්නලියේ අස්සජි හිමි වයස අවුරුදු 15 යන තිදෙනාය. ඌරුබොක්ක ගින්නලිය ගමේ ගල්ලෑල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි දහනායක ලියනගේ චන්ද්‍රදාස සමඟ පී. කුසුළාවතී විවාහ වී ඇත්තේ 2000 වර්ෂයේදීය. තේ වගාව කරමින් එමගින් ලැබෙන ආදායම් ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස සකස් කරගනිමින් සිටි මෙම දෙදෙනාට 2003 වර්ෂයේ දෙසැම්බර් 24 දින සිය කුලුදුල් දරුවා වූ අංජන දිල්හාර පුතා උපන්නේය. 2007 වර්ෂයේ දෙවනි දරුවා වූ අෂාන් නුවන් තීක්ෂණ උපත ලැබීය.

මෙම යුවළගේ වැඩිමහල් පිරිමි දරුවා

වන දහනායක ලියනගේ අංජන දිල්හාර වයස අවුරුදු 10දී ඌරුබොක්ක තුසිත විහාරස්ථානයේදී කැටවල වජිර නමින් පැවිදි දිවියට එළඹියේය. සිය දරුවා බුද්ධ ශාසනය වෙනුවෙන් පුජා කිරීමට ලැබීම පිළිබඳව සතුටින් සිටි දහනායක ලියනගේ චන්ද්‍රදාස 2014 වර්ෂයේ මාතර කැකණදුර අභිනවාරාම විහාරාධිපති ඌරුගමුවේ සෝරත නායක ස්වාමින් වහන්සේගේ ආචාර්යත්වයෙන් ගින්නලීයේ සමිත නමින් පැවිදි විය. ඒ අනුව පියා සහ වැඩිමහල් සහෝදරයා පැවිදි වී අනිත්‍ය මෙනෙහි කරමින් ශාසනික කටයුතුවල යෙදී සිටින අයුරු බලා සිටි සිය මව සමඟ නිවසේ තනිවී සිටි අශාන් නුවන් තීක්ෂණ බාල පුතාද 2016 වර්ෂයේ ඔක්තෝබර් 11 වැනිදා කෑගල්ල හෙට්ටිමුල්ල මාකුර රජමහ විහාරාධිපති ගින්නලියේ රතනසාර නායක ස්වාමීන් වහන්සේගේ ආචාර්යත්වයෙන් ගින්නලීයේ අස්සජි නමින් පැවිදි විය. මේ අනුව ගින්නලියේ සමිත හිමියෝ ද දළුක්ගගල චිත්ත සමාධි ආරණ් සේනාසනාධිපති ලෙස වැඩ වාසය කරන අතර ගින්නලියේ අස්සජි හිමියෝද එහිම වැඩ වසති.

කැටවල වජිර හිමියෝ කෑගල්ල හෙට්ටිමුල්ල මාකුර රජමහ විහාරස්ථානයේ වැඩ වසති. ගින්නලියේ අස්සජි පොඩි හාමුදුරුවන් වහන්සේ මෙසේ පැවැසුහ.
"මගේ පියාත් වැඩිමහල් සහෝදරයත් පැවිදි වී බුද්ධ ශාසනය වෙනුවෙන් කැපවී සිටින අයුරු දැක්කම මටත් මහණ වෙන්න ආස හිතුණා. මම මහණ වෙන්න ඉස්සර දැන් ඉන්න පස්ගෝඩ ප්‍රාදේශීය ලේකම්වරිය මාව හදාගන්න මගේ අම්මාගෙන් ඉල්ලලා තිබුනා. මම යන්න බෑ කියලා කිව්වා. ඊට පස්සේ 2016 වර්ෂයේදී මගේ පියාණන් පැවිදි වී වැඩ වාසය කළ කෑගල්ල හෙට්ටිමුල්ල මාකුර රජමහ විහාරස්ථානයේදී මමත් පැවිදි වුණා. මගේ ලොකු බලාපොරොත්තු නැහැ. මට ඕන ඉගෙන ගෙන  ගිහි පැවිදි දෙපක්ෂයටම ඉගෙන ගන්න පුළුවන් ආකාරයේ පිරීවෙනක් හදලා මුළු ලෝකයටම වැඩදායක ආදර්ශවත් ස්වස්වාමීන් වහන්සේ නමක් ලෙස කටයුතු කිරීමයි.

පුජ්‍ය ගින්නලියේ සමිත ස්වාමීන් වහන්සේ මෙසේ පැවැසූහ.
"මම ගිහි ජීවිතය කාලේ සමාජ සේවය කළ අයෙක්. ඒ වාගේම පන්සල් කෝවිල්වල හිටිවන කවි කිවිවා. පට්ටිගල විද්‍යාලයේ විහාර මන්දිරය, අඟුරුමැලේකන්ද ප්‍රජා ශාලාව ඉදිකරන්න මූලිකත්වය ගෙන කටයුතු කළේ මම. ගොඩේහේන ගම්මානයට යන්න තිබෙන පාර හදන්න පාලම හදන්න, විදුලිය ලබාගන්න මූලීක වුණේ මම. ඔය වගේ සමාජ සේවා වැඩකළ තවත් අයෙක් නැති තරම්. ඒත් සියල්ල අනිත්‍ය බව දැකපු නිසා තමයි සංසාර ගමන වෙනුවෙන් වගේම

බුදු සසුන වෙනුවෙන් මම මහණ වුණේ. මරණය කාටත් උරුමයි. ඒකෙන් ගැලවෙන්න බේරන්න කාටවත් බෑ. අපේ මිනිස්සුන්ට මේක නොතේරෙන නිසා තමයි. මේ තරම් තණ්හාව, ඊසියාව, ගහ මරා ගන්නේනේ. මේක තේරුම් ගන්න බැරී නිසා අපරාධ වැඩිවෙලා, මංකොල්ල කෑම් වැඩිවෙලා, යහපත් විදියට ජීවිතය ගෙවා අවසාන මොහොතට එන්න පුළුවන් නම් යම්කිසි කෙනකුට සැනසිල්ලේ මැරෙන්න පුළුවන්.

දැන් මගේ වයස අවුරුදු 70ක්. මට තව කොපමණ කල් ජීවත්වෙන්න පුළුවන්ද කියන්න මම දන්නේ නැහැ. කොයි මොහොතේ මගේ මරණය සිදුවේද කියන්න බැහැ. ඒ නිසා මම අත්හැරී ගිහි ජීවිතය මට ආයේ ඕන නැහැ. දේපළ වස්තුව මට ඕන නැහැ. මම ඒවා සේරම අත්හැරලා තමයි පැවිදි වෙලා ඉන්නේ. මට මේ පැවිදි දිවිය නොවෙයි ඕන, වනගත වෙලා භාවනා කරලා සිත දියුණු කරගෙන සංසාර ගමන කෙටි කර ගන්න. සමහරකුට හිතන්න  කියන්න පුළුවන් මම දරු දෙදෙනා සමඟ පැවිදි වුණා.බිරිද ගෙදර තනි වුණා කියලා බිරියට කිසිම අඩුපාඩුවක් නැතිව ජීවත්  වෙන්න පුළුවන් ආර්ථික තත්ත්වයක් හදලා තියෙන්නේ. තේ ඉඩම්වල දලු ටික නෙළාගෙන ඒකෙන් ජීවත් වෙන්න පුළුවන්.

මාසිකව සැලකිය යුතු ආදායමක් තියෙනවා. නිවාස දෙකක් තියෙනවා පදිංචි වෙලා ඉන්න. ඒ නිසා මට ඒ ගැන දුක්වෙන්න පසුතැවෙන්න අවශ්‍ය නැහැ. මේ පොඩි හාමුදුරුවන් දෙන්නම කවදහරි සංඝ සමාජයේ ඉහළ තැනකට එන්න තව වසර 15ක්වත් ගතවෙනවා. ඒ සංඝ සමාජයට ඇවිල්ලා බුද්ධ ශාසනයට කරන සේවය බලන්න මට ඉන්න ලැබෙන්නේ නැහැ. ඒ ගැන විතරයි මට දුකක් තියෙන්නේ. මගේ පොඩි හාමුදුරුවන් දෙන්නම එදාට බුද්ධ ශාසනයට හා සංඝ සමාජයට කරන සේවාව පිළිබඳව මගේ ඇස් දෙකෙන් බලා ගන්න පුළුවන්කමක් ලැබුනොත් ඒක මගේ පැවිදි ජීවිතයේ ලබන ලොකුම සතුටක්.  ගින්නලියේ සමිත හිමියෝ සමස්ත ස්වාමීන් වහන්සේලාගෙන්ම ඉල්ලා සිටියේ නිකාය භේද ටික, දේශපාලන භේද ටික කලකට අමතක කරලා බුද්ධ ශාසනයට සහ සිංහල ජාතියට වන පරිහානිය දැකලා මේ සිංහල ජාතිය සහ බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමට දායක වන්න කටයුතු කරන නායකත්වය ගන්න කියලායි.

-අතාවුද පතිරණ-