මිල සූත්‍රය අනුව ඉන්ධන මිල වෙනස්වීම සලකා පුද්ගලික බස් රථ වර්ජනයක් ඉරිදා සිට අරඹන බවට පුද්ගලික බස් සංගම් මින් ඉහත අනතුරු අඟවා තිබුණ අතර අද 10 සිදුවූ සංශෝධනය අනුව පෙට්‍රල් මිල
වෙනස් වුවත් බස්

වලට බලපාන ඩීසල් මිල ඉහළ ගියේ නැත.
කෙසේ වෙතත් අද සවස ඔවුන් දන්වා තිබෙන්නේ පෞද්ගලික බස් කර්මාන්තයට බලපාන ප‍්‍රශ්න විසඳන ලෙස බලකරමින් අනිද්දා (12) මධ්‍යම රාත‍්‍රීයේ සිට දීප ව්‍යාප්ත වර්ජනයක් ක‍්‍රියාත්මක කරන බවයි.
ඩීසල් සහනාධාරයක් ලබාගැනීම, මාර්ග බලපත‍්‍ර ටෙන්ඩර් කිරීම අහෝසි කිරීම, ඒකාබද්ධ කාලසටහන් ක‍්‍රමය වහා ක‍්‍රියාත්මක කිරීම, අමතර කොටස් සඳහා ඇති බදු ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ආරම්භ කරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා පැවසීය.

අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය, සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය, සීමාසහිත මගී ප‍්‍රවාහන සමාගම ඇතුළු බස් සංගම් කිහිපයක් මෙම වර්ජනයට එක්වීමට නියමිත බව ද සභාපතිවරයා සඳහන් කළේය.