දියණියකගේ ඇඳුම් උනාදැමීමක හුටපටයක් මත පැනනැගි වෛරයක් නිසා සිදුවූ බවට වාර්තා පළවූ පසුගියදා අනුරාධපුරදී ගරාජ් හිමි ව්‍යාපාරිකයෙකු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධ ප්‍රධාන සැකකරු අද (8) පොලිස් අත්අඩංගුවට පත්වූ අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට අන්තර්ජාලය තුළද විවිධ කතා පැතිර ගොස් තිබේ.
37 හැවිරිදි පුල්ලයාර් චමින්ද  (මාම්පටිදේවහේලාගේ චමින්ද පුෂ්පකුමාර )  ප්‍රධාන සැකකරු හා හේවාපන්නගේ නාලක විජේසිරි (40) නොච්චියාගම ප්‍රදේශයේ නිවසක් තුළ සැඟව සිටිය දී අනුරාධපුර පොලිසිය මගින් අද අත්අඩංගුවට
ගෙන තිබේ.සිද්ධියට සම්බන්ධ බවට පුද්ගලයින් සිව් දෙනෙකු හඳුනාගෙන තිබූ අතර අනෙක් දෙදෙනා තවම හසුවී නැත.
අනුරාධපුර දීපානි විද්‍යාලය අසලදී මෙම සැකකරුවන්  සුජීව ප්‍රසන්න නැමති ව්‍යාපාරිකයා මරා ඇත්තේ කාලයක් තිස්සේ ගොඩනැගුණ කෝන්තරයකින් පසුය.
මින් මාස 10 කට පෙර පසුගිය 2017 අගොස්තු මාසයේ විවාහ මංගල උත්සවයකදී මෙම කෝන්තරය මතුව තිබුණි. මියගිය සුජීවගේ වැඩිමල් දියණිය සිරුරේ කොටස් නිරාවරණය වන ලෙස ඇඳගත් ඇඳුමකින් මංගල උත්සවයේ නැටුමක් නටමින් සිටි බවත් එම අවස්ථාවේ ඩාන්සිල් ෆ්ලෝර් අසළ නරඹන්නන් ලෙස සිටි පුල්ලයාර් චමින්ද සහ ඔහුගේ ගැබිණි බිරිය ඇයව විවේචනය කරමින් සිටි බවත් අසල්වාසියෙකුගේ සටහනක් ලෙස අන්තර්ජාලයේ හුවමාරුවන වාර්තාවකින් පැවසේ.
එහි දැක්වෙන අන්දමට එම විවේචනය ඇසී එය නොරිස්සූ සුජීවගේ පුත්‍රයා තම වැඩිමල් සොයුරියට ඒවා මේවා කියන්න එපා යයි කියමින්

එම ස්ථානයේ බහින්බස්වීමක් ඇති කරගෙන තිබේ.

පුල්ලෙයාර් චමින්ද හා බිරිය  සුජීවගේ පුතු හා වාද කරමින් සිටිනු දැක සුජීවද එතැනට විත් තිබෙන අතර බහින්බස්වීම දුරදිගගොස් අතින් පයින් ගසාගන්නා තත්වයට වර්ධනය වී තිබේ. මොකක්ද වෙන්නේ අසමින් එම තැනට සුජීවගේ දියණියද පැමිණ තිබෙන අතර පුල්ලෙයාර් චමින්ද ඇගේ මූණටම විවේචනය එල්ල කරමින් ඇය ඇඳ සිටි ඇඳුමින්ද අදිමින් ඉරමින් ආරවුල තවත් දුරදිගගෙන ගොස් ඇත.

ප්‍රසිද්ධියේ පිරිසක් බලා සිටියදී තමන්ගේ දරුවන්ට කරන හිරිහැර නිසා තවත් කෝපවූ සුජීව එම අවස්ථාවේ පුල්ලෙයාර් චමින්දට එකට එක කරනු පිණිස ඔහුගේ ගැබිණි බිරියට පහරදී ඇත්තේ උදරය දෙසට පයින් ගසමිනි.
මෙම අවස්ථාවේ මංගල උත්සවයද අවුල්ව ගිය අතර වැඩිහිටියන් මැදිහත්වී පිරිස දෙපසට කර ආරවුල නවතා දමා තිබුණි. මෙම රණ්ඩුවෙන් පසු දෙදෙනා අතර ඇතිවූ කෝන්තරය පසුගිය මිනීමැරුම දක්වාම නොයෙක් ස්වරූප වලින් පැවතී තිබී ඇත.
ගරාජ වැඩ බිංදුවෙන්ම පටන්ගෙන ඉහළට ගොස් තමන්ගේම ගරාජයක් දමාගත් සුජීව පසුකලෙක හයිබ්‍රිඩි වාහන අලුත් වැඩියාව නිසා ප්‍රසිද්ධ නමක් හදාගත් අයෙකි. ඔහු ‘හැපි හයිබ්‍රිඩ්‘ නමින් ආයතනයට නමක්ද ලියාපදිංචි කර තිබුණ අතර ඔහු යටතේ සේවකයින් ගණනාවක්ම සේවය කරමින් සිට ඇත. ඔහු කුලී පදනම මත වාහන සැපයීමේ ව්‍යාපාරයද කරගෙන ගිය අයෙකි.
ප්‍රදේශ වාසීන් පවසන ආකාරයට ඔහුටද දේශපාලන සබඳතා තිබී ඇත. ඔහු තමන් සමග හැප්පෙන්නට ආ පුල්ලෙයාර් චමින්දට බියවූ අයෙකු නොවේ.

ඔහු තර්ජන කරද්දී මොහුද තර්ජන කර තිබේ. අන්තර්ජාලයේ සැරිසරන වාර්තාවෙන් කියැවෙන්නේ පුල්ලෙයාර් චමින්ද එදා කළ මදිංපුචිකමින් පලිගන්නට සුජීව ඔහු වෙත ගොස් ආයුධයකින් අතක් කඩාදමන්නට උත්සාහයකද නියැළි ඇති බවයි. කෙසේ වෙතත් මේ ගැන පොලිස් පොත්වල සටහන් නැත.

පුල්ලෙයාර් චමින්දද සුජීව අමතා උඹේ අතක් කපනවා යයි තර්ජනය කර ඇත්තේ මෙයින් පසුවය. ගැබිණි බිරියගේ බඩට පයින් ගැසූ පලිය ගන්නට උඹේ බඩවැල්  මම ඇදලා ගන්නවා යනුවෙන්ද පුල්ලෙයාර් චමින්ද තර්ජනය කර තිබේ.
මේවාට සුජීව සිනාසී හාහ් කරල පෙන්නපන් කීවාද නැතිනම් බිරිය දැන් කියන ආකාරයට පොලිසියට පැමිණිලි කර සහනයක් පතමින් සිටියාද යන්න ගැන විමර්ශනය කළ යුතුව තිබේ.

මිනිමැරුම් සිද්ධිය වාර්තාවීමෙන් පසු මියගිය සුජීවගේ බිරිය හා වැඩිමහල් දියණිය ආවේගාත්මකව කළ ප්‍රකාශයන් සහ සිද්ධියේ සැබෑ ස්වරූපය අතර යම් යම් පරස්පරතා දක්නට ඇත. දියණිය ‘මාව නිරුවත් කළා‘ කීවාට එතැනින් එහාට සිදුවූ සියල්ල හෝ ඔවුන් අත වරදක් සිදුවූ බවක් හෙළි කර නැත.
මෙම සිදුවීම විමර්ශන කරන අනුරාධපුර පොලිසිය පවසන්නේ සුජීවගේ බාල පුත්‍රයා එක්තරා ‘නොසන්ඩාලයෙකු‘ ලෙස නමක් ප්‍රසිද්ධ කරගත් අයෙකු බවයි. 15 හැවිරිදි දැරියක දූෂණය කරන ලද බවට සුජීවගේ බාල පුත්‍රයා කලකට ඉහත පොලිස් පැමිණිල්ලක් මත අත්අඩගුවට පත්ව තිබෙන අතර මේ වනවිටත් එම නඩුව විභාගයට ගනිමින් පවතින්නකි.

මෙම ඝාතනයෙන් පසු සුජීවගේ බිරිඳට සහ දරුවන්ට පුල්ලෙයාර් චමින්ද විසින් මරණ තර්ජන එල්ලවන බව පවුලේ ඥාතීන් පවසා ඇති අතර මාධ්‍ය කමරා ඔස්සේ
සුජීවගේ බිරිය දන්වා සිටින්නේ මිනිය ගෙනියන දවසට පුතා ආවොත් මරාදානව කිව්වා ආදී ලෙසිනි. කෙසේ වෙතත් එම තර්ජන ආවේ කෝල් එකකින්ද කියා ඇසූ විට නෑ කියන අතර එහෙනම් කොහෙන්ද ඇසූ විට කවුදෝ නාඳුනන අයෙක්  තර්ජනය සහිත එස්එම්එස් සටහන්වූ ෆෝන් එකක් මළගෙදරට ගෙන ඇවිත් නිවසේ අයට පෙන්වා අතුරුදන්වූ බව කියා තිබේ.
මෙම ගැටලුකාරී තත්වය තුළ සැගවූණ කාරණා ගණනාවක් ඇතිව තිබෙන බව විමර්ශනවලදී හඳුනාගෙන ඇත.කෙසේ වෙතත් මේ පසුබිම තුළ මොවුන්ගේ නිවසට පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන බව පොලිසිය පවසයි.
 අනුරාධපුර පොලිසිය ඝාතනයට සම්බන්ධ අනෙක් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරමින් සිටී.
 --------
සිද්ධිය ගැන පෙර වාර්තාව
අනුරාධපුර ව්‍යාපාරිකයා ඝාතනය දුවගෙ අතවරය හා මාධ්‍ය