සුගිය කාලයේ ලංකාවේ අන්තර්ජාතික ගුවන් තොටුපළවල් සම්බන්ධයෙන් විවිධ කතා ඇති විය. කටුනායක දියුණු නොකර මත්තල හැදුවේ ඇයිද යන්න සමහරුන් ඇසූ පැනයයි. මේ අතරවාරයේ වත්මන් රජයද ගුවන් තොටුපළකට අතගසා තිබේ. ඒ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩටය.
ත්‍රිකුණාමල වරාය සංවර්ධනය සඳහා සකස් කරන ලද ප්‍රධාන සැලැස්ම අනුව
හිඟුරක්ගොඩ ඉදිකෙරෙන තෙවැනි අන්තර්ජාතික ගුවන් තොටුපළ ව්‍යාපෘතියක් ලෙස ඇරඹීම ඊයේ සිදු විය.
අගමැති වරයාගේ ප්‍රධානත්වයෙන් ඇමති චම්පික රණවකගේ සහභාගීත්වයෙන් ඇරඹි මෙම වැඩසටහනේදී පැවසුනේ 2050 වසර වන විට නැගෙනහිර සංවර්ධනය කිරීම සඳහා සැලැස්මෙහි දැක්වෙන

දැක්ම අනුව හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන්තොටුපල බිහිවනු ඇති බවයි.
අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේ ඉන්දියානු සාගරයේ කේන්ද්‍රය ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා  මේ සැලැස්ම සම්පූර්ණ කර ඇති බවයි.

" ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පැරණි යුගයේ කේන්ද්‍රස්ථානයක් වූ කාලයේ වරායන් ගණනාවක් තිබුණා. අද අපි කොළඹ වරාය හා හම්බන්තොට අවධානය යොමු කර තිබෙනවා. ඉන්දියාවේ බටහිර කොටස සංවර්ධනය කිරීම මෙන්ම ඉරානයේ සිදු වන සංවර්ධනයත් සමග කොළඹ වැදගත් වනු ඇත. සිංගප්පූරුව වැනි රටවලට සූවස් ඇල භාවිතා කරන නෞකා හම්බන්තොට හරහා ගමන් කරන අතර එමඟින් දකුණු වරාය සංවර්ධනය කිරීම වඩාත් වැදගත් වෙනවා.
ඊළඟ වසර 20 තුළ දී බෙංගාල බොක්කෙහි රටවල් බෙහෙවින් සංවර්ධනය වනවා. 2050 වන විට එම කලාපයේ ජනගහනය බිලියන තුනක් කරා ලඟා වනු ඇත. එබැවින් ත්‍රීකුණාමලය නැගෙනහිර දොරටුව ලෙස අප සංවර්ධනය කිරීමට සිදුවනු ඇති බව ඔහු පැවසීය.

මෙම ගුවන් තොටුපළ ඉදිකිරීමේදී පාරිසරික හානිය අවම වීම ගැන විහේෂ සැලකිල්ලක් දැක්වූ බවත් සැලැස්මේ සියයට 11 ක් නාගිරක සංවර්ධනය වෙනුවෙනුත් ඉතිරි සියයට 89 වනජීවී,සමුද්‍රිත හා වාරිමාර්ග සංවර්ධනය වෙනුවෙන් වෙන් කර ඇති බවත් ඇමති පාඨලී සම්පික රණවක පැවසීය.

මෙම ව්‍යාපෘතිය යටතේ  පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩට ගුවන් තොටුපළක් ත්‍රීකුණාමලය ආශ්‍රිතව නව නාගරික මධ්‍යස්ථානයක්, තට්ටු සහිත වාහන අංගන කිහිපයක්, සෆාරි උද්‍යානයක්, ක්‍රිකට් ක්‍රීඩාංගණයක්, අධිවේග මාර්ග පද්ධති කිහිපයක් හා බාලාගාර පද්ධතියක් සඳහා සැලසුම් සකස් කර ඇත.ව්‍යාපෘතිය සඳහා SURBANA JURONG නමැති සිංගප්පූරු සමාගම සැලසුම සකස් කරන ලද බවද ඇමතිවරයා දන්වා තිබේ.