මෙරට හමුවූ විශාලතම කුඩු තොගය වන මිලියන 1,248ක් පමණ වන හෙරොයින් කිලෝග්‍රෑම් 103 ග්‍රෑම් 948ක් සමග අත්අඩංගුවට ගත් මොහොමඩ් සුසෙයි මොහොමඩ් මොහිදී ඔහුගේ පවුලේ සාමාජිකයන් සමග බෝගම්බර බන්ධනාගාරයේ සංචාරක නිවාසයේ නවාතැන් ගෙන ඇති බව අනාවරණය වී ඇත.
2017 දෙසැමිබර් 31 දා මෙලෙස මොහොමඩ් සුසෙයි මොහොමඞ් මාහිර් නැමත්තා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙම සංචාරක නිවස්නයේ නවාතැන් ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මොහොමඩ් සුසෙයි මොහොමඩ් මාහීර් නමැත්තා සහ ඔහුගේ රියදුරු වන මල්ලිකාආරච්චිගේ වතුර ජයශාන්ත යන පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම කරුණු අනාවරණය වී තිබේ.
නවාතැන් පහසුකම් සදහා බන්ධනාගාර සංචාරක නිවාස වෙන්කරවාගත හැකිවන්නේ බන්ධනාගාරයේ පුද්ගලයන්ට වන අතර,මෙම මොහොමඩ් සුසෙයි මොහොමඩ් මාහීර් නමැත්තාට නවාතැන් ගැනීමට බන්ධනාගාර සංචාරක නිවාසය වෙන්කර දුන් පුද්ගලයා කවුරුන්දැයි සොයාබැලීමට නියමිතය.
මේ අතර බන්ධනාගාරයේ පුද්ගලයකුගේ නමින්  බෝගම්බර බන්ධනාගාරයේ සංචාරක නිවහන වෙන්කළ තැනැත්තා පිළිබඳව සහ ඔවුන්ට නවාතැන් පහසුකම් ලබාදුන් පුද්ගලයන් පිළිබදව සොයාබැලීම් පරීක්ෂණ

මේ වන විට ආරමිභවී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙලෙස ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමග ගනු දෙනු පවත්වාගෙන යන්නේ බන්ධනාගාරයේ කුමන පුද්ගලයන්ද යන පුළුල් ලෙස විමර්ශනය කිරීමටද මේ වන විට පියවර ගෙන ඇති බවද ආරංචි මාහ සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල් දෙණිය මහතාගෙන් විමසීමක් කළ අතර හෙතෙම පැවසුයේ මේ පිළිබඳ නිල වශයෙන් දැනුදීමක් මෙතෙක් සිදුව නොමැති බවය. කෙසේවෙතත් අදාළ දිනයේදී බන්ධනාගාර සංචාරක නිවහන වෙන්කළේ කවුරුන්දැයි සොයාබලන බවද හෙතෙම පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් තුෂාර මහතා මෙසේද කීවේය.

"‍මේ සම්බන්ධයෙන් අපිට තවම දැනුවත් කරලා නැහැ. මටත් මේ ගැන ආරංචි වුණා. නිවාඩු නිකේතනය කියන්නේ මහජනතාවට ඕනෑම

කෙනෙකුට ඇවිත් ඉන්න පුළුවන් තැනැක්. හැබැයි මේකට බන්ධනාගාර නිලධාරියෙක් සම්බන්ධද කියන ප්‍රශ්නය තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි හොයලා බලන අවශ්‍යයි. මේ ගැන අපිට කිසිම කෙනෙක් නිල වශයෙන් දැනුම්දීලා නැහැ, පොලීසියවත් අපිට දැනුවත් කරලා නැහැ. ඉදිරියේදී දැනුවත් කරයි.
සංචාරක නිවාස බන්ධනාගාර නිලධාරීයෙක් හරහා වෙන් කළොත් යම්කිසි මුදලක් අඩුවෙනවා. ‍මේ කියන දිනයට වෙන්කළේ කවුද කියලා හොයලා බලනවා" යැයි හෙතෙම පැවසීය.
 පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ නිලධාරීන් විසින් පසුගියදා කළුබෝවිලදී හා බත්තරමුල්ල සුභූතිපුර ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 103 ග්‍රෑම් 948ක් සමග මොහොමඩ් සුසෙයි මොහොමඩ් මාහිර් නමැති 29 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගත් අතර, එම හෙරොයින් මරණ දඩුවම නියමිවී සිටින ''සුසෙයි'' නමැත්තාගේ බවට පොලිස් පරික්ෂණවලදී අනාවරණය කරගත්තේය.
මරණ දඩුවම නියම  වී සිටින ධර්මරාජා  සුසෙන්ද්‍රන් හෙවත් ''සුසෙයි'' නමැත්තාට මරණ දඩුවම නියමවී තිබෙන්නේ හෙරොයින් කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් 250ක් ජාවාරම් කිරීමේ චෝදනාව මතය.
මරණ දඩුවම නියමවී  වැලිකඩ බන්ධනාගාරගතව සිටින සුසෙයි නමැත්තා සමග මොහොමඩ් සුසෙයි මොහොමඩ් මාහිර් නමැත්තා නිතරම දුරකථනයෙන් සම්බන්ධ වී තිබෙන බවට තහවුරු වී ඇති බවට පසුගියදා පොලීසිය සඳහන් කළේය.