බත්තරමුල්ල සුපිරි වෙළෙඳ ආයතනයකින් රුපියල් කෝටි ගණනක ගෘහ භාණ්‌ඩ මිලට ගැනීමට පැමිණි භාණ්‌ඩ ආනයන හා අපනයන ක්‍ෂේත්‍රයේ ව්‍යාපාර හිමි කෝටිපති ව්‍යාපාරිකයකු උපායෙන් රවටා ගෙන ඔහුගේ බැංකු ගිණුම් හරහා රුපියල් විසිතුන් ලක්‌ෂයකට අධික මුදල් වංචා කළ බවට කඩුවෙල අධිකරණය හමුවේ
චෝදනා ලැබූ එම වෙළෙඳ ආයතනයේ ගෘහ භාණ්‌ඩ අංශයේ පාලිකාවක රුපියල් ලක්‌ෂ 50 ක්‌ වටිනා ශරීර ඇප දෙකක්‌ යටතේ මුදා හැරීමට නියම කළ මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ප්‍රසන්න අල්විස්‌ මහතා ඇයට විදේශගත වීම තහනම් කිරීමේ නියෝගයක්‌ද පනවන ලදී.


 බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි තිලක්‌ ආරියසිරි සමරවික්‍රම යන ව්‍යාපාරිකයා විසින් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන කොට්‌ඨාසය වෙත කර තිබූ පැමිණිල්ලකට අනුව වෙළෙඳ මධ්‍යස්‌ථානයේ ජයනී අයෝධ්‍යා මෙන්ඩිස්‌ නමැති සේවිකාවකට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

 පැමිණිලිකාර ව්‍යාපාරිකයා තම දරුවන් තිදෙනාගේ නව නිවාස සඳහා අවශ්‍ය කෝටි ගණනක්‌ වටිනා ගෘහ භාණ්‌ඩ මිලදී ගැනීමට අවස්‌ථා කිහිපයකදීම එම වෙළෙඳ මධ්‍යස්‌ථානයට ගොස්‌ ඇති අතර සැකකාර කාන්තාව ඔහු හා හිතවත්කමක්‌ ගොඩනඟා ගෙන ව්‍යාජ ප්‍රකාශ කරමින් ඔහු සතු බැංකු ගිණුම් හරහා ඉහත කී මුදල් ලබා ගෙන වංචා කර ඇති බවට පොලිසිය අධිකරණයට වාර්තා කර තිබිණ.

 එම පැමිණිල්ල අධිකරණ ගත කර තිබියදීත් සැකකාරිය ඉදිරිපත් කිරීමට පොලිසිය අපොහොසත් වීම හේතුවෙන් මෝසමක්‌ හරහා වරෙන්තුවක්‌ ලබා ගෙන ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට සිදු වූ බව පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ බී. ජී. පී. කරුණාරත්න මහතා අධිකරණයට දන්වා සිටියේය.

 එම සැකකාරිය තම සේවා දායක පැමිණිලිකාර ව්‍යාපාරිකයාගෙන් වරින්වර ලබාගෙන ඇති රුපියල් ලක්‌ෂ ගණන් මුදල් වැය කර තරුපහේ හෝටල්වල විනෝදකාමී ජීවිතයක්‌ ගත කර ඇතැයිද ඇය විදේශගත වීමේ උත්සාහයක්‌ පිළිබඳව සැකයක්‌ පවතින බවද නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය.

 සියලු කරුණු සැලකිල්ලට ගත් විනිසුරු ප්‍රසන්න අල්විස්‌ මහතා ඉහතකී ඇප කොන්දේසි එනම් රුපියල් ලක්‌ෂ 25 බැගින් වන ශරීර ඇප 02 ක්‌ යටතේ සැකකාරිය මුදාහැරීමට නියම කරමින් ඇයට විදේශගත වීම තහනම් කිරීමට නියෝග කරන ලදී.

 පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ ඩී. ජී. පී. කරුණාරත්න මහතාද සැකකාර කාන්තාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ සුදත් වික්‍රමරත්න මහතාද පෙනී සිටියහ. මෙම පැමිණිල්ල ලබන අගෝසතු 30 දින යළි කැඳවීමට අධිකරණය නියෝග කෙරිණ.