විභාග වංචා වැළැක්වීමේ අරමුණින් ජාතික විභාගවලදී අතිරේක ශාලාධිපති නමින් විශ්‍රාමික හමුදා නිලධාරීන් සේවයේ යෙදවීමට විභාග දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණයට තම සංගමය විරුද්ධ බව ලංකා ගුරු සංගමය පවසයි.

මේ පිළිබඳව විභාග කටයුතු පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවලදී විභාග කොමසාරිස්වරයා විසින් විභාග ශාලාවල සේවයට විශ්‍රාමික හමුදා නිලධාරීන් යොදා ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශ කොට ඇති අතර මේ වන විට එම නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතුද සිදුවෙමින් ඇතැයි වාර්තා වේ.


මෙතෙක් විභාග ශාලාවල කටයුතු සිදු කළ ගුරුවරු විදුහල්පතිවරු හා අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ නිලධාරීන් මනා පුහුණුවකින් හා පළපුරුද්දකින් යුත් නිලධාරීන් බවත් ඔවුන් සිටියදී බාහිර පුද්ගලයන් විභාග රාජකාරිවල යෙදවීමෙන් සිදුවනුයේ විභාග අක්‍රමිකතා වැළැක්වීමක් නොව ජාතික විභාග කටයුතුද මිලිටරිකරණය වීමක් බව 'මව්බිම' කළ විමසීමකදී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවැසීය.

විභාග දෙපාර්තමේන්තුව ගෙන ඇති මේ තීරණය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන ලංකා ගුරු සංගමය විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටිනුයේ ජාතික විභාග කටයුතු සඳහා විභාග ශාලාවලට හමුදා නිලධාරීන් හෝ අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙනත් පරිබාහිර නිලධාරීන් යෙදවීම වහාම නතර කරන ලෙසයි.

පසුගිය කාලයේදී බොහෝ විභාග අක්‍රමිකතා සිදුවූයේ විභාග ශාලාවලදී නොව විභාග දෙපාර්තමේන්තුව ප්‍රශ්න පත්‍රවල රහස්‍යභාවය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් වගකීම් විරහිතව ක්‍රියා කළ ආකාරය නිසා යැයි හෙතෙම පෙන්වා දෙයි.

සවනි ශේශාධි