හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට අයත් කොස්ගොඩ පිහිටි නිවසින් රුපියල් පන් ලක්‍ෂ අනූදහසක් වටිනා (590,000) බෝට්ටුඑන්ජින් 2ක් සොරකම් කිරීමේ සිද්ධියට අදාළව වැඩිදුර විමර්ශන වාර්තාවක් මිළඟ නඩු දිනයේදී ඉදිරිපත් කරන ලෙස බළපිටිය මහෙස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා පසුගියදා (19දා) කොස්ගොඩ පොලීසියට නියෝග කළේය.

 සොයා ගැනීමට නෙහැකිව ඇති ඉතිරි බෝට්ටු එන්ජිම සොයා ගන්නා ලෙසද වැඩිදුරටත් නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා  මීට අදාළ නඩුව නැවත ඔක්තෝබර් මස 03 වැනි දින කැඳවන බවත් එදින නඩුව විභාගයට ගන්නා බවත් දැනුම් දුන්නාය.  සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ

පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් පළමු සැකකරු ලක්‍ෂයක සහ දෙවැනි සැකකරු රුපියල් පනස් දහසක ශරීර ඇප මත මුදාහැරීමටද බළපිටිය මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මෙසේ ඇපමත මුදාහැර ඇත්තේ මහලදුව, බළපිටිය ලිපිනයේ පදිංචි යකුපිටි සුනිල් ශාන්ත (48) සහ බළපිටිය, විජයාරාම පාරේ පදිංචි අගම්පොඩී රවීන් ප්‍රියාන් මෙන්ඩිස් (35) නමැති දෙදෙනාය. පළමු සැකකරු සොරකම සිදුකළ යයිද දෙවැනි සැකකරු සොරබඩු මිලදී ගෙන ළග තබාගත්තේ යැයිද සැකපිට අත්අඩංගුචට ගෙන තිබේ. සැකකරුවන් දෙදෙනාම අධිකරණය හමුවේ පෙනී සිටියහ. සජින් ද වාස් ගුණවර්ධන මහතාගේ නිවෙස් අධික්‍ෂණ කටයුතු සිදුකරන කදිරගොන්න, අහුන්ගල්ල ලිපිනයේ පදිංචි පතිරණගේ තරිදු කුමාර (32) නමැති අය කොස්ගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුචට ගෙන තිබේ.

එකක් රුපියල් 295,000ක් වන බෝට්ටු එන්ජින් 02ක් මෙසේ සොරකම් කර තිබෙන බව පැමිණිල්ලේ සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත් වූ කොස්ගොඩ පොලිසිය නිවෙසේ මුරකරු වන යකුපිටි සුනිල් ශාන්ත (48) නමැති අය සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී තමා බෝට්ටු එන්ජින් 2ක් සොරකම් කළ බව පිළිගෙන තිබේ. මෙයින් එක් එන්ජිමක් රුපියල්  10,000කට දෙවැනි සැකකරුට විකුණා තිබීයදී  කොස්ගොඩ පොලිසිය මගින් සොයාගෙන තිබේ.