නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ශ්‍රී ලංකාවේ අධිකරණයේ ඇතැම් දූෂිතයින් ගැන හෙළි කරමින් කළ ප්‍රකාශ මගින් අධිකරණයට අපහාස කරන ලදැයි පවරන ලද නඩුව අද (4) විභාගයට ගත් අවස්ථාවේ එම ප්‍රකාශය අඩංගු වීඩියෝ පටය නිරීක්ෂණය කර ඊට අදාල නීතිපති අදහස පළකිරීමට අද උසාවි වේලාව වෙන්කර තිබුණි. එය පරීක්ෂා කිරීමේදී එහි අන්තර්ගතය තුළින් බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් වන බවට
පෙනී යන්නේ යැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දන්වා සිටින ලදි.
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කරන්නේ යැයි චෝදනා කරමින් පූජ්‍ය මාගල්කන්ද සුදන්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිළධාරියෙකු වන සුනිල් පෙරේරා මහතා ගොනු කළ පැමිණිල්ල විභාගයට

ගත් අවස්ථාවේදී නීතිපතිවරයා එලෙස අධිකරණයට දන්වා සිටියා.
ඒ අනුව රන්ජන්ට එරෙහිව නීතිපතිද අදහස් පළකිරීම තුළ මින් ඉහත එස්බී දිසානායක කට වරද්දාගැනීම නිසා සිරගතවන්නට සිදුවූ ආකාරයේ සිදුවීමක් සිද්ධවන්නට ඉඩ ඇති බව නීති ක්ෂෙත්‍ර ආරංචි හෙළි කරයි.
මේ අතර මෙම නඩු විමසීම ආරම්භ වූ කාලයේදී රටේ නීතිය සහ ස්‌වාධීනත්වය ගැන අවංකව අදහස්‌ ප්‍රකාශ කර අවුරුදු දෙකකට සිරගතවීමට තමන් සූදානම් බව සමාජ සුබසාධන නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පවසා තිබුණි.
විනිසුරුවරුන් සහ නීතිඥයින් පිළිබඳ කළ ප්‍රකාශයකට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඔහුට එරෙහිව නඩු  පැවරූ අවස්ථාවේ ඔහු මෙසේ කියා තිබුණි.
“ඔය කාරණාව සම්බන්ධයෙන් දැනටමත් බොදුබල සේනාවේ හිමිනමක්‌ සහ තවත් පුද්ගලයෙක්‌ මට එරෙහිව
නඩු දමා තිබෙනවා. දැන් නීතිඥ සංගමයත් නඩු පවරනවා. මම නඩුවකටලෑස්‌තියි. ඕනෑ තරම්
කරුණු මා ළඟ තිබෙනවා. තව තවත් තොරතුරු ගලාගෙන එනවා. මම කියන්නේ ඔක්‌කොම විනිසුරුවරුන් දූෂිතයි
කියා නොවේ. දණ ගසා වඳින්න පුළුවන් විනිසුරුවරුත් ඉන්නවා. පසුගිය දවසක අපි දැක්‌කා එවැනි
විනිසුරුවෙක්‌ උතුරේදී. ඒ වගේම තමයි සරත් අඹේපිටිය විනිසුරුතුමා. මහින්ද රාජපක්‍ෂ, නාමල්
රාජපක්‍ෂ කියන්නේ නීතිඥවරුන්, කොල්වින් ආර්. ද සිල්වා දක්‌ෂ නීතිඥයෙක්‌. ඒත් නීතිය වැරදි විදිහට
යොදා ගත් කෙනෙක්‌. මිනීමරුවන්ගෙන් සල්ලි අරන් මිනීමරුවන් බේරන නීතිඥවරු ඉන්නවානේ. මම අධිකරණයට,නීතියට ගරු කරනවා. එස්‌.බී ඇමැතිතුමාවත් අවුරුදු දෙකකට හිරේ ඇරියනේ. මමත් ලෑස්‌තියි මාවත් හිරේ යවාවි.”

සිද්ධිය සම්බන්ධ පැමිණිල්ල ලබන මස 18 වනදින යළි කැදවීමට නියමිතය.