සුගිය සතියේ වාර්තාවූ ප්‍රකට ජ්‍යොතිර්වේදි නාත්තන්ඩියේ පී.ඩී. පෙරේරාගේ අනපේක්ෂිත සමුගැනීම පිළිබඳ සිදු කෙරෙන පරීක්ෂණ අනුව ඔහු සියදිවි නසාගෙන මරණය සිදු කරගන්නට බලපෑ ප්‍රධාන හේතු කාරණා ගැන වැඩි විස්තර මේ වනවිට අනාවරණයවී තිබේ.
මියයන විට 72 හැවිරිදි වියේ පසුවූ ජ්‍යෙතිෂවේදී පී.ඩී. පෙරේරා දුම්රියට පැන දිවිනසාගත්තේ ඔහුගේ බිරිය
තනිකරමිනි. ඔහුට දරුවන් සිට නොමැත.ඔහු මියයන කාලයේ දැඩි ආර්ථික ප්‍රශ්න වලින් මිරීකී සිටි බවද කියැවිණි. වාර්තාවන ආකාරයට එයට ප්‍රධානම හේතුව වී ඇත්තේ ඔහු නොදන්නා ‘බිස්නස්‘ කරන්නට ගොස් වැඩ වරද්දා ගැනීමෙනි. එම කතාව මෙසේය.
ඔහු ජ්‍යොතිෂ්‍ය කරුවෙකු ලෙස නමසිය 70 දශකයේ සිට ප්‍රසිද්ධියක් ඉසිලූ අයෙකි. ටී. බී. ඉලංගරත්න, සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය ඇතුළු පැරණි දේශපාලනඥයින්ගේ සිට වර්තමානයේ රාජිත සේනාරත්න ඇමතිවරයා දක්වා ඔහු දේශපාලකයින්ගේ පුද්ගලික ජ්‍යොතිෂ්‍ය කටයුතුද ඉටුකරදුන් අයෙකි. සිරිමා මැතිණිය ඔහු ගැන පැහැදී ඇත්තේ කල් ඇතිව මැතිවරණ ජයක් ගැන ටක්කෙටම අනාවැකියක් කියූ නිසාවෙනි.

නමසිය අනූ ගණන් වලදී ඔහු පුවත්පත්වලට පලාපල ලිවීම තුළින් ප්‍රසිද්ධියට පත්වූයේය. ඔහු දිවයින පුවත්පතේ ප්‍රධාන ජ්‍යොතිෂ්‍ය රචකයෙකු ලෙස කටයුතු කරමින් දිනපතා පලාපල පවා රචනා කළේය.

මේ අතරවාරයේ ඔහුගේ නම ප්‍රසිද්ධ නිසා බොහෝ අය ඔහු සොයා ආහ. ඔහුට ව්‍යාපාරික වශයෙන් සතුටුදායි වාතාවරණයක්ද පැවතිණි.එ් නිසාම ඔහු නාත්තන්ඩියෙන් පිටට ඇවිත් කොළඹ නුගේගොඩ ආසන්නයේ කාර්යලයක්ද පිහිටුවා ගත්තේ පැමිණෙන අයට පහසුව පිණිසය.

නමුත් මීට වසර කිහිපයකට පෙර ලෝක කුසලාන අවසන් තරගයකින් ශ්‍රී ලංකාව ඉන්දියාව පරදා ජයගන්නා බවට වැරදි අනාවැකියක් පළකිරීම නිසා ඔහු ගැන පාඨක විශ්වාසය වරක් බිඳිණි. ඉන්පසු ඔහු දිවයින පුවත්පතට ලීවේ නැත. ලංකාදීප ඇතුළු පුවත්පත් ගණනාවක අවුරුදු පලාපල හා විශේෂ ග්‍රහමාරු වලදී ඔහුගේ පලාපල රචනාවන් පසු කලෙක දැකිය හැකිවිය.
 2015 ජනපතිවරණයට පෙර 2014 මෛත්‍රී ජනපති වන බවටද ඔහු අනාවැකියක් කියූවේය. ඔහුගේ අනාවැකිය හරිගිය නමුත්
පසුගිය ජනපතිවරණයේ ඇතැම් ජ්‍යොතිෂ්‍යවේදීන් සමාජ ගත කළ වැරදි කරුණු නිසා එම ක්ෂෙත්‍රයම පිරිහී ගිය අතර විශ්වාසය පිළිබඳ ගැටලු මතුවිය.
මේ නපුරු කාලය නිසා ජ්‍යෙතිෂවේදී පී.ඩී. පෙරේරා නුගේගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කාර්යාලයද පාළුවට ගියේය. වැඩි වාසියක් නැති නිසා ඔහු උකටලී වූයේය.
මේ අතර ඔහු අලුත් ‘බිස්නස්‘ එකක් කර මෙම පාඩුව වසාගන්නට කල්පණා කළේය. ඒ වෙනත් කිසිවක් නොව විදේශ රැකියා සඳහා පුද්ගලයින් රට යවන ව්‍යාපාරයකි. තමාට හොඳ මහජන සම්බන්ධතාවයක් ඇති නිසා මේ ව්‍යාපාරය හොඳට කළහැකි යයි ඔහු සිතා තිබුණි. තමන් වෙත ඒ තාක් ආ ගැනුම් කරුවන්ගේ සම්බන්ධතා මේ සඳහා හොඳින් උපයෝගී කරගන්නට ඔහුට හැකි විය. නමුත් ඔහුගේ ව්‍යාපාරයේ කළමනාකරණ සැලසුම ගැන නිසි අවබෝධයක් ඔහුට තිබුනේ නැත.
දිගු කලෙක සිට භාවිත  කරන ටෙලිපෝන් අංක ලැයිස්තුව සොයාගෙන විවිධ පුද්ගලයන් වෙත රට යැවීම ගැන ඔහු තොරතුරු ප්‍රකාශ කළේය. කතා කළ ඇතැම් අය එවැනි අය සිටී නම් දන්වන බවට ඔහුට පොරොන්දු වූයේ පලාපල නිසාම ඔහු ගැන ඔවුන් තුළ පැවති විශ්වාසයද සමගිනි. ඔහු සොයා විවිධ අය ඉන්පසු ආවේ රට රැකියා සොයාගෙනයි. ඔහු කියන විදිහට මුදල් බැඳීම්ද සිදු කරන්නට ඒ අය කටයුතු කර තිබුණි. නමුත් ඒ අය දුන් මුදල් තමන්ගේ පරිහරණයට භාවිතා කර ඔහු නැති කරගත්තේය. ඔහු ලක්ෂ ගණන් වියදම් කළේ මොනවාටදැයි  තවම පැහැදිලි නැත.

 පුද්ගලයින් රට යවන බව දසත පතුරා මුදල්ද ලබාගත්තත් ඔහුට කිසිදු පුද්ගලයකු රට යවන්නට නොහැකි විය.
ඔහු මුදල් ප්‍රශ්න වලින් හිරවූයේ ඉන් පසුවයි.
රට යවන්න බැරි නම් මුදල් නැවත දෙන්නැයි ඒ අය කරදර කරන්නට විය. නමුත් ඔහු අත ඔවුන්ට දෙන්නටද මුදල් නොමැති විය. පෙරේරා ඔවුන්ගෙන් බේරීම සඳහා කට්‌ටි පැන්නේය. ලක්ෂ 25 ලක්ෂ 30 ලක්ෂ 40 ආදී ලෙස විවිධ අයගෙන් ඔහු මුදල් ලබාගෙන තිබූ අතර එකතුව කෝටි ගණනක් විය.
 ලක්‍ෂ 27 ක මුදලක්‌ ලබාදුන් අයෙකු පීඩී පෙරේරාට එරෙහිව අපරාධ විමර්ශන අංශයේ පැමිණිල්ලක්‌ද දැමු අතර පොලිසිය ඔහු සොයා ආහ. පැමිණිල්ල විභාග කරද්දී තමා වංචාවක් නොකරන බවත් නැවත 31 වැනිදා කෙසේ හෝ එම මුදල් ලබාදෙන බවත් ඔහු පොරොන්දු වූ නමුත්  එදිනට දෙන්නට මුදල්  ඇත්තටම තිබී නැත. තමා නිසැකවම හිරේ විලංගුවේ වැටෙනු ඇති බවත් ගොඩ ඒමක් නැති බවත් ඔහු සමීපතමයින්ට කියා තිබුණි.
 පසුගිය 28 වැනිදා මීගමුව, කට්‌ටුව දුම්රිය ස්‌ථානය ආසන්නයේ රේල් පාර අසළ වාඩිවී සිටි පෙරේරා මහතා කොළඹ සිට හලාවත දෙසට යන ශීඝ්‍රගාමී දුම්රියවෙතට පැන්නේ මේ සියලු කරදර වලින් මිදෙන අටියෙනි.
දස දහස් ගණනකගේ ඉරණම ගැන කට රිදෙන තුරු උපදේශ විසඳුම් දී සිත් සැනසූ පෙරේරා මහතා තම ඉරණම එසේ විසඳා ගත්තේය.