ශ්‍රී ලංකාවේ දෙවන ප්‍රධාන ගුවන් තොටුපළ ලෙස පසුගිය රජය මගින් ගොඩනගන ලද හම්බන්තොට මත්තල ගුවන්තොටුපළට මේ දක්වා පැමිණිම් හා යාම් සිදු කළ එකම ගුවන් සේවාව වූ ෆ්ලයි ඩුබායි ලබන සිකුරාදා අවසන් ගමන් වාරයෙන් පසු ගුවන් ගමන් නවතන බවට දන්වා තිබූ අතර අද වනවිට වාර්තාවන්නේ
එම අවසන් ගමනද අවලංගු කර ඇති බවයි. ඒ අනුව මත්තල ගුවන් තොටුපළ කිසිදු ගුවන් ගමනක් සිදු නොවන පාළු භූමියක් බවට පත්ව ඇත. කලක සිට ඉතා අවම මගීන් පිරිසක් පරිවහනය කරමින් සිටි ෆ්ලයි ඩුබායි මත්තල හැරයාමට හේතු කිසිවක් සඳහන් කර නැත.

මින් ඉහත ශ්‍රී ලංකන් ගුවන් සමාගම මත්තල හරහා ගමන් වාර යොදා තිබුණද 2015 සිට එම ගමන් නතර කළේ  මගීන් අවමවීම නිසාය. එම නතර කිරීම තුළින් වාර්ෂිකව ඩොලර් මිලියන 18 ක නාස්තියක් වළක්වාගත හැකි බව එකල පැහැදිලි කර තිබුණි.
විවිධ පාරිසරික ප්‍රශ්න

හා දුර පිළිබඳ ගැටලු 
පැවතුණත් (කොළඹ නගරය වෙත කිලෝමීටර 250 ක් දුර- පැය 5 ක ගමනක්) හම්බන්තොටට ගුවන්තොටුපළක් අවශ්‍යම බවට පසුගිය රජය තනි තීරණයක සිටි බැවින් මත්තල 2013දී පිහිටුවන ලද්දේ ඇමරිකානු ඩොලර් මිලියන 210 ක අයෝජනයකිනි.

එනමුත් මුලසිටම කුරුල්ලන් හැපී මියයාම ඇතුළු පාරිසරික ප්‍රශ්න ඒ ඉදිකිරීම තුළ තිබුණි. විවෘත කර වසර දෙකක් ඇතුළත එය පිහිටුවන ලද රක්ෂිතයේ මුවන් හා අලි ඇතුන් වෙනත් ස්ථාන වලට යොමු කිරීම සඳහා ආරක්ෂක අංශ යොදවා විශේෂ මෙහෙයුම්ද සිදු කරන ලදි.
ලෝකයේ හිස්ම ගුවන් තොටුපළ ලෙස මත්තල ජාත්‍යන්තර ව්‍යාපාරික සඟරා මගින් නම් කර තිබෙන අතර සේවක පිරිස 500 ක් වූ මත්තල මේ වසර මුලදී ඇන්ටනොව් 225 ලෝකයේ විශාලතම ගුවන් යානයේ ඉන්ධන සැපයීම වැනි කාර්යයකට දායක වී තිබුණ නමුත් මේ සතියේ සිට කිසිවෙකුගේ පාවිච්චියට නොගන්නා පාළු ස්ථානයක් බවට පත් වනු ඇත.