දේශීය කිරි කර්මාන්තය ශක්තිමත් කරමින් වසර 2025 වන විට ශ්‍රී ලංකාව දියර කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීම සදහා බහුවිධ වැඩපිළිවෙළක් ඇතුළත් කෙටුම්පත් කඩිනමින් සකස් කරන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිපාන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

දැනට දිවයිනේ

පාසල් 450ක  පමණ ක්‍රියාත්මක දියර කිරි ලබා දීමේ වැඩපිළිවෙළ තවදුරටත් ව්‍යාප්ත කරමින් ඉදිරියේදී සියලු පාසල් දරුවන්ට කිරී වීදුරුවක් ලබා දීමේ ඉලක්ක සහගත වැඩපිළිවෙළ සැලැසුම් කරන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ දේශීය කිරි නිෂ්පාදනය හා පරිභෝජනය සවර්ධනය කිරීම් සම්බන්ධයෙන් ඉකුත් දා ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදීය.

රජයට මූලික ප්‍රතිපත්තිය සහ අරමුණ විය යුත්තේ දේශීය කිරි කර්මාන්තය ශක්තිමත් කිරීම තුළින් පිටරටින් ආනයනය කරනු ලබන කිරි පිටි ප්‍රමාණය ක්‍රමයෙන් අඩුකර ගැනීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා දියර කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් විධිමත් හා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැවීමේ අවශ්‍යතාවද පැහැදිලි කළේය.