තරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි තැබිම කතරගම මහසෙන් දේවාලයේ හිටපු ප්‍රධාන කපුවා වන අසේල බණ්ඩාර නමැත්තා විසින් සිදුකර ඇති බවට දැනට සිදුකරන පරික්ෂණවලදී හෙළි වී ඇත. සැකකරු දැනට සිය ගම් ප්‍රදේශයෙන් පැනගොස්සිටින අතර
පොලිස් කණ්ඩායම් ඊයේ (13) පස්වරුවේ සැකකාර කපුවාගේ නිවස පරික්ෂා කළ අවස්ථාවේ එහි තිබී වෙඩි තැබීම සිදු කිරීමට යොදාගත් ආයුධ සොයාගෙන තිබෙන අතර සැකකරුවන් පැමිණි බව කියන රතු පැහැති මෝටර් රථය එම කපුවාගේ නිවෙස ඉදිරිපිට නතර කර තිබියදී සොයාගෙන ඇත.
ඝාතන තැතට හවුල්වු බව කියන යුද හමුදා හිටපු සෙබළකුද  ඊයේ (13) සැකපිට අත්අඩංගුවටගනු ලැබීය.

 විහාරාධිපති නාහිමියන්ට වෙඩි තැබිමට කතරගම මහසෙන් දේවාලයේ හිටපු කපුවා සමග ඔහුගේ සහෝදරයකු සහ මේ කියන සෙබළා ගොස් ඇති බවට තොරතුරු හෙළිව ඇත.
හිටපු කපුවා සහෝදරයා සමග දැන් පලාගොස් ඇති බවද පොලිසිය කියයි.
මහසෙන් දේවාලයේ භාරකාරත්වය අධිකරණ තීන්දුවක් මගින් මිට වසරකට පමණ ඉහතදී කිරිවෙහෙර නායක හිමියන් යටතට පනවා තිබෙන අතර කපුවකු අලුතින් පත්කිරිම් නිසා තම ආදායම් මාර්ග නැතිව යාමෙන් ඉවත් කෙරුණු කපුවා විහාරාධිපති හිමියන් සමඟ වෛරයකින් පසුවී ඇති බවත් මෙම වෙඩි තැබීමට මුල්ව ඇත්තේ එම වෛරය වියහැකි බවත් සැකකෙරේ.
 විහාරාධිපති හිමියන් ඉලක්ක කරගනිමින් වෙඩි තැබිමේදී ඒ අසල සිටි හිමියන්ටද වෙඩි වැදී තිබෙන අතර සැකකරුවන් තිදෙනා ජීප් රථයෙන් පලායද්දී විහාරස්ථාන භූමියේ පොලිස් මුරපොළේ නිලධාරින්ට
වෙඩි තැබිමට හැකියාව තිබි ඇතත් ඒ වනවිටත් විහාරස්ථානභූමිය අවට බැතිමතුන් සැරි සැරිම නිසා ඔවුන්ට ජීවිත හානියක් සිදුවෙතැයි සිතා එවැන්නක් කිරිමෙන් වැළකී තිබෙන බව වාර්තාවේ.
විහාරාධිපති හිමියන් සෑම දිනකම රාත්‍රියේ කිරිවෙහෙර වැඳ පුදා ගැනීම පුරුද්දක් හැටියට කරගෙන එන අතර උන්වහන්සේ එදින රාත්‍රී 10.45ට පමණ සුපුරුදු ලෙස එම කටයුත්තේ යෙදෙන බව දැන සිටි වෙඩික්කරුවන් සැඟව බලා සිට වෙඩි තැබීම සිදු කර ඇත. තුවාල ලද හිමියන් කතරගම රෝහලට මුලින්ම ඇතුළු කර ඉන්පසු හම්බන්තොට මහ රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබු අතර උදර ප්‍රදේශයට වෙඩි වැදී තිබෙන නිසා අසාධ්‍ය තත්වයේ පසුවන බව වාර්තාවේ.උන් වහන්සේ සමග සිටි සෝභිත හිමියන්ගේ පාදයකට වෙඩි වැදී තිබිණි.
 ප්‍රහාරය එල්ල කළ ස්ථානයේ පඩිපෙළ අසල තාප්පයේ වෙඩි උණ්ඩ හතක සළකුණු ඇතැයිද බිම වැටී තිබු හිස් පතුරම්  තුනක් සොයා ගෙන ඇතැයිද පොලිසිය කියයි.