ආයුර්වේද වෛද්‍යවරුන් සදහා තීරු බදු රහිත වාහන බලපත්‍රයක් සදහා වූ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ගම්පහ වික්‍රමාරච්චි වෛද්‍ය වෘත්තීක සංගමය සංවිධානය කළ උත්සවයකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කළුතර දී මේ බව කීවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය විද්‍යාව සහ භික්ෂු පරම්පරාව එකට බැදී පවතිනවා.

ඒ සදහා වූ හොදම උදාහරණය පුජ්‍ය මාලේවන ඥානිස්සර හිමියන්. දේශීය වෛද්‍ය විද්‍යාව ඉදිරියට ගෙනයාමට උන් වහන්සේ විශාල කාර්යභාරයක් ඉටු කළා. දේශිය වෛද්‍ය විද්‍යාව පහතට ගමන් කළත්, බටහිර වෛද්‍ය විද්‍යාව සංවිධානාත්මකව ඉහළට ගමන් කරනවා. එම නිසා දේශීය වෛද්‍ය විද්‍යාවත් ඉදිරියට ගෙන යා යුතුයි.
ආයුර්වේද උපාධිධාරීන් 900 කට එකවර රැකියා ලබාදුන්නා. ආයුර්වේද වෛද්‍යවරයා සහ බටහිර වෛද්‍යවරයා සම තත්ත්වයට ගෙන ආ යුතුයි. නැතිනම් වෛද්‍ය වෘත්තීය සම තත්ත්වයට පත් කරන්න බැහැ.

හෝමියෝපති වෛද්‍ය ක්‍රමය දියුණූ කිරිම සදහා ගිවිසුමක් අත්සන් කිරීමට සුදානම් වුවත්, ඉන්දීය විරෝධයක් මතු වුනා. එම විරෝධය මතු කළ පුද්ගලයින්ගේ මොළය සුද්ද කිරීමට වෙනත් ඖෂධයක් සොයාගත යුතුයි. ඉන්දියාවෙන් ගිලන් රථ ගෙනඒමට සුදානම් වූ අවස්ථාවේ දී ඊට ගල් ගහන්නත් කිවුවා. ආයුර්වේද වෛද්‍යවරුන් සදහා තීරු බදු රහිත වාහන බලපත්‍රයක් සදහා වූ අමාත්‍ය මණ්ඩල සංදේශයක් මා ඉදිරිපත් කර තිබෙනවා. එය ඉදිරියේදී සම්මත වේවි.