තම ඇවැස්ස මස්සිනා සමඟින් නීත්‍යනුකූලව විවාහ වී සිටි කාන්තාවක් තමා හා සමාන නිවුන් නැඟණියගේ ලිපි ලේඛන ඉදිරිපත් කර සැමියාගේ මිතුරකු සමඟ විවාහ වී මුදල් වංචාවක් කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ඇය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මාවතගම පොලිසිය කටයුතු කර ඇත.
 මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම තැනැත්තිය මාවතගම - පුස්සැල්ල ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරන තම ඇවැස්ස මස්සිනා සමඟ මීට වසර  හයකට පමණ ඉහතදී විවාහ වී තිබේ.  තම සැමියා සමඟ වන්දනා ගමනක් ගොස් ඇති අවස්ථාවකදී

සැමියා සේවයේ නිරතව සිටි නාවික හමුදා කඳවුරේ සේවය කරන ඔහුගේ මිතුරකු දැන හඳුනාගෙන ඔහුට දුරකථන අංකය ලබාදී ඔහු සමඟ සම්බන්ධතාවක් පවන්ගෙන ගොස් ඇත.

   ඉන්පසුව එම තැනැත්තියගේ නැඟණියගේ නමින් පසුව හඳුනාගත් සැමියාගේ මිතුරාද සමඟ විවාහ වී ඇති අතර මෙම පුද්ගලයන් දෙදෙනාම නිවාඩු ලබා පැමිණෙන විට වරින් වර ඔවුන්ගේ නිවෙස්වල ඔවුන් සමඟ කාලය ගත කොට තිබේ. මෙලෙස ඔවුන් සමඟ අඹු - සැමියන් ලෙස කාලය ගත කරන
අතරතුර ඔවුන් දෙදෙනා සතු රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමටද ඇය කටයුතු කර ඇත.

   කෙසේ වෙතත් පළමු සැමියාගේ පවුලේ අය ඇයගේ හැසිරීම පිළිබදව විමසිල්ලෙන් සිටීමේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස ඇය පොලිසිය වෙත හසුකර දීමට සමත්ව ඇත. මාවතගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලලිත් සඳසිරී මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ.ඒ.එස්. ජයකොඩි මහතා ඇතුළු කණ්ඩායම මේ පිළිබඳ පරීක්ෂණ පවත්වති.