සංචාරක පාරාදීසයක් ලෙසින් ප්‍රසිද්ධ නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජලය මත මේ දිනවල මේ උදය කාලයේ පාවෙන තෙල් තට්ටු තැන තැන විශාල වශයෙන් දැකිය හැකි බව පරිසර වේදීහු පවසති. මේ නිසා එම ජලයේ ජීවත් වන මත්ස්‍යයන් ඇතුළු ජලජ ජීවීන් හා ජලජ පැළෑටිවලට මෙන්ම අවට පරිසරයටද දැඩි අනතුරුදායක තත්ත්වයක පෙර නිමිති පහළවී ඇතැයි ඔවුහු පෙන්වා දෙති. එසේම මේ ග්‍රෙගරි වැවෙන් පිටවන ජලය වැලිමඩ
ඇතුළු පහත් බිම් ප්‍රදේශවල වෙසෙන ජනතාව නෑමට මෙම පානීය ජලය ලෙස භාවිත කිරීම නිසා මෙහි අනතුරුදායක තත්ත්වය තවත් වැඩිවී ඇතැයි ඔවුහු වැඩිදුරටත් පවසති.


    මේ වන විට ග්‍රෙගරි වැව කේන්ද්‍ර කොටගෙන විවිධ අන්දමේ සංචාරක බෝට්ටු 200කට ආසන්න ප්‍රමාණයක් තිබෙන අතර සංචාරකයන් බහුලව එන සති අන්ත දින සහ උත්සව සමයන්හිදී මේ බෝට්ටු සියල්ලම පාහේ සංචාරකයෙන් පුරවාගෙන වැව් දියමත චාරිකාවල යෙදනු පෙනේ.

   එසේම සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගැනීම සඳහා වේගයෙන් ගමන්කොට ඒ මේ අත හරවන “ඩිංකී" බෝට්ටු නිසාද එවායේ ඉන්ධන ජලයට හැලී යැමට ඉඩකඩ වැඩි බවද කියති.සංචාරකයන් බහුල දිනවලදී ග්‍රෙගරි වැවේ සිට "සී ප්ලේන්" සේවයක්ද ක්‍රියාත්මක වෙයි.

    මේ ඇති වී තිබෙන අනතුරුදායක තත්ත්වය පිළිබඳව අප නුවරඑළිය නාගරීක කොමසාරිස් කේ.එම්.එව්. ඩව්ලිව්. බණ්ඩාර මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ තමාටද පළාත් සභා මන්ත්‍රීවරයකු ඇතුළු කීපදෙනකුගෙන් මෙවන් තත්වයක් ගැන දැනගැනීමට ලැබීමෙන් පසුව  කීප දිනක් ග්‍රෙගරි වැවට ගොස් සොයා බැලූවිට එවැනි තෙල් තට්ටුවක් දක්නට නොලැබුණු බවයි. එහෙත් දැන් දැනගැනීමට ලැබුණු පරිදි උදේ කාලයේ ගොස් සොයා බැලීමට පියවර ගන්නා බවද කීය.