චාර්ය ලෙස්‌ටර් ජේම්ස් පීරිස්‌ මහතාට අයත් රණමයුර සම්මානය සොරාගෙන බස් රථයක දමා ගිය අය 4 දෙනෙකු ඊයේ සවස අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසයි. සැකකරුවන්
ප්‍රසිද්ධ ගැට කපන්නන් බවත් ඔවුන් මින් පෙර වැරදිවලට හසුවී ලියාපදිංචිවී සිටින වෘත්තීය ගැටකපන එකමුතුවක් (සංගමයක්) බවත් වාර්තාවන අතර ඔවුන් සංවිධානාත්මකව මෙම ප්‍රසිද්ධ අවමංගල උත්සවය ආවරණය කර සිය වෘත්තීය දක්ෂතා පෙන්වා ඇති අයුරු
ප්‍රශ්න කිරීමේදී හෙළිව තිබේ.
බම්බලපිටිය පොලිසිය අවමඟුල අවස්‌ථාවේ වීඩියෝ දර්ශන සහ සීසීටීවී දර්ශන පරීක්‍ෂාවට ලක්‌ කිරීමේදී අවමගුල් අවස්ථාවට පැමිණි සැකකටයුතු ත්‍රී රෝද රථයක් සම්බන්ධයෙන් දිගටම පරීක්‍ෂණ පවත්වා ඇති අතර කඩුවෙල ප්‍රාදේශයේදී එය අත්අඩංගුවට ගෙන රියදුරුගෙන් දීර්ඝ ලෙස

ප්‍රශ්න කිරීමෙන් පසු මෙම සොර කල්ලිය ගැන තොරතුරු හෙළි කරගෙන ඇත.
ආචාර්ය ලෙස්ටර්ගේ අවමංගල්‍ය අවස්ථාව අතර නැතිවූ ලෙස්ටර්ගේ පුද්ගලික ජංගම දුරකථනයද ඔවුන් සොරාගත්තක් බව පාපොච්චාරණය කර තිබෙන අතර උත්සවයට පැමිණි ප්‍රබල දේශපාලනඥයකුගේ මුදල් පසුම්බියක්ද ඔවුන් එහිදී සොරකම් කර තිබේ.

අත්අඩංගුවට පත් ලියාපදිංචි ගැටකපන්නන් සිව්දෙනා මෙම සම්මානය සොරකම් කළ පසුව එය සම්බන්ධයෙන් මාධ්‍ය තුළ ප්‍රචාරයවූ විස්තර අසා එය විකිණීමට යාමේදී හසුවේ යයි බියවී තිබෙන අතර ළඟ තබාගැනීම පවා අවදානම් බැවින් බස්‌ රථයක අතහැර යන්නට තීරණය කර තිබේ. එ් අනුව කඩුවෙල කොල්ලුපිටිය අතර ධාවනය වන මාර්ග අංක 177 සුඛෝපභෝගි පෞද්ගලික බස්‌ රථයක ඔවුන් එය අතහැර ගිය අතර පොලිසිය මගින් පෙරේදා (05 දා) සොයා ගන්නා ලදී.

මේ අතර ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතාගේ ඇපල් අයිෆොන් වර්ගයට අයත් පුද්ගලික ජංගම දුරකථනය අවමංගල උත්සවය අතරතුර මිනී පෙට්ටිය පිටුපස පිහිටි අල්මරියේ උඩ රඳවා තිබෙන අයුරු මෙම ගැටකපන්නන්ට නිරීක්ෂණයවී තිබේ. ඔවුන් සැලසුම් සහගතව නිවසින් මිනී පෙට්ටිය රැගෙන යන්නට ආසන්න කලබලකාරී අවස්ථාව තෝරාගෙන එයද සොරකම් කර තිබුණි.
 එම ජංගම දුරකථනයේ සිම්පත ඉවත් කර නාවලපිටිය ප්‍රදේශයේ  ජංගම දුරකථන අලෙවි කරන ස්ථානයකට ඔවුන් අලෙවි කර තිබූ අතර පොලිසිය කළ ප්‍රශ්න කිරීම් අනුව ගැටකපන්නන් දුන් තොරතුරු මත ඊයේ (06 දා) රාත්‍රිය වන විට එය පොලිසිය භාරයට ගන්නට හැකියාව ලැබුණි.එම දුරකථනය රුපියල් ලක්ෂයක් පමණ මුල් වටිනාකම සහිත එකක් වූ අතර එය සොරුන් විසින් අලෙවි කර ඇත්තේ රුපියල් හාරදහසකටයි


එම ජංගම දුරකථනය සහ රණමයුර සම්මානය යන දෙකම මේ වනවිට පොලිස් භාරයේ තිබෙන අතර උසාවි කටයුතු වලින් පසු ආපසු පීරිස්‌ මහත්මිය වෙත ලබාදෙන්නට පොලිසිය මේ වනවිට කටයුතු කරමින් සිටී.
මේ අතර ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතාගේ අවමංගල්‍යයට පැමිණි ප්‍රබල දේශපාලනඥයකුගේ මුදල් පසුම්බියත් මෙම සැකකරුවන් විසින් අවමංගල්‍යය උත්සවයේ තදබද අවස්‌ථාවකදී සොරාගත් බව පාපොච්චාරණයේදී හෙළි කර තිබු අතර එයද නැවත භාර දෙන බව දන්වා ඇත.
 මුදල් පසුම්බිය සොරාගැනීම සම්බන්ධයෙන් දේශපාලනඥයා පොලිසියට පැමිණිල්ලක්‌ කර තිබී නැත.
අත්අඩංගුවට පත් වෘත්තීය ගැටකපන්නන් සිව්දෙනා කඩුවෙල, මතුගම, නාවලපිටිය ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.  ධනවත් පුද්ගලයන්ගේ අවමඟුල් උත්සවලට පැමිණ කලබල අවස්‌ථාවල නිවෙස්‌වල ඇති වටිනා දේපළ සොරා ගැනීම ඔවුන් මින් ඉහත අවස්ථාවලත් සිදු කර තිබෙන බව පවසා ඇත. ඔවුන් ඊයේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සුගතදාස ක්‍රීඩාංගණයේ ඊයේ (06 දා) පැවති එක්‌සත් ජාතික පක්‍ෂ මැයි රැලියට සහභාගි වන ධනවත් පුද්ගලයින්ගේ මුදල් පසුම්බි සොරාගැනීමට සැලසුමක් දියත් කරමින් සිටි බවද පොලිසිය පවසයි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සොරාගත් භාණ්ඩ සුමිත්‍රා පීරිස් මහත්මිය වෙත හා පසුම්බිය දේශපාලනඥයා වෙත භාරදීමටද නියමිතය.