සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පුර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද (02) කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදු කෙරේ.

කොළඹ පෞද්ගලික රෝහලකදී පසුගිය 29 වනදා රාත්‍රියේ අභාවප්‍රප්ත වූ ඒ මහතාගේ දේහය මේ වන විට බම්බලපිටිය,

ලෙස්ටර් ජේම්ස් පීරීස් මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත.

චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු මෙන්ම තිරකතා රචකයකු ලෙසින් ලෝ පුරා කීර්තියට පත් ආචාර්ය පීරිස් මහතා මිය යනවිට 99 වැනි වියේ පසු විය.

අද පෙරවරු 10.00ට බම්බලපිටිය නිවසේදී කතෝලික ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දේහය ජාතික චිත්‍රපට සංස්ථාව කරා ගෙන යනු ලැබේ. එහිදී කලාකරුවන් දේහය බාර ගැනීමට නියමිතය.

අනතුරුව මහජන ගෞරවය සඳහා මධ්‍යාහ්න 12.00 සිට පස්වරු 3.00 දක්වා දේහය නිදහස් චතුරස්‍රයේ තැන්පත් කෙරේ. පස්වරු 3.00ට අවසන් ගෞරව උත්සව සභාව ආරම්භ වෙයි. ආදාහනය පස්වරු 6.00ට කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවෙන් එදා මෙදා තුර බිහිවූ විශිෂ්ඨතම සිනමාවේදියා ලෙස පිළිගැනෙන අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා දැයෙන් සමුගන්නා අද දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇත.