ගාල්ල කරාපිටිය රෝහලේ ළමා රෝග වාට්ටුවක හඳුනා නොගත් වයිරසයක් පැතිර යෑම නිසා පසුගිය දින කිහිපය තුළ කුඩා දරුවන් 05 දෙනකු මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

අදාළ

ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ මේ හේතුව නිසා අසනීප වූ තවත් දරුවන් කිහිප දෙනකු මේ වන විටත් අදාළ වාට්ටුව තුළ සිටින බවයි.

මේ පිළිබඳව ගාල්ල කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ පැවැසීය.

"ඔව්, පසුගිය දින කිහිපය තුළ දරුවන් 05 දෙනකු මියගොස් තිබෙනවා. අපි මුලින් හිතුවේ මේක බැක්ටීරියාවක් කියලා. නමුත් වයිරස් එකක් බවයි දැනට සොයාගෙන තියෙන්නේ. කෙසේ නමුත් මෙහි නමක් තාම අපිට සොයා ගන්න බැරිවෙලා තියෙනවා. අදත් මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා කිහිපයක් පැවැත්වුවා. අදාළ දරුවන්ගේ ලේ සාම්පල් මේ වන විටත් අවශ්‍ය කටයුතු සඳහා කොළඹ යවා තිබෙනවා. තවත් දරුවන් කිහිප දෙනකු සිටිනවා අසනීප තත්ත්වයේ පසුවන. දැනට මට මේ සම්බන්ධයෙන් කියන්න පුළුවන් මෙපමණයි. අපි තවම මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරනවා.

ඉමදුව - ටී. විතානවසම්