පණු බෙහෙත් පෙත්තක භාගයක්‌ උගුරේ සිරවී සිව් හැවිරිදි කුඩා සිඟිත්තෙක්‌ මියයැමේ ශෝකජනක පුවතක්‌ පෙරේදා (19 වැනිදා) කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂණ උසාවියේ පැවැති සාක්‍ෂි විභාගයකදී අනාවරණය විය.

මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස්‌ ඇත්තේ පාදුක්‌ක, කෝරලඉම, අලුත්වත්ත පදිංචිව සිටි මිටිමන්නගේ තිනුර දිමාන් දෙව්මික පෙරේරා නමැති සිඟිත්තෙකි.

මේ සම්බන්ධ මරණ පරීක්‍ෂණය කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂිකා ඉරේෂා දේශානි සමරවීර මහත්මිය හමුවේ පැවැති

අතර එහිදී සාක්‌ෂි දුන් මියගිය දරුවාගේ මව මෙසේ පැවැසුවාය.

"මියගොස්‌ සිටින්නේ මගේ දරුවා. මේ සැරේ දරුවා සායනයට රැගෙන ගියවිට බර අඩු නිසා ඔහුට විටමින් සහ පණු බෙහෙත් දුන්නා. එයා බෙහෙත් බොන්න කැමැති නැහැ. එනිසා මගේ ස්‌වාමිපුරුෂයා වැඩට යන්න කලින් බෙහෙත් පෙත්ත දුන්නා."

"දරුවා භාගයක්‌ වතුරත් සමඟ බීවා. පසුව ඉතිරි භාගය මගේ මහත්තයා දරුවගේ කට ඇතුලෙන් තියලා වතුර දුන්නා. දරුවා එකපාරටම "අප්පච්චි" කියලා කෑගැහුවා. අපි පුළුවන් තරම් දරුවගේ පිටට ගැහුවා. කකුල් දෙකත් උස්‌සලා පිටට ගැහුවා. ඒත් බෙහෙත් පෙත්ත ආවේ නැහැ. අපි දරුවාව අරගෙන වෑතර රෝහලට රැගෙන ගියා. එම රෝහලෙන් දරුවාව ළමා රෝහලට මාරු කළා. පසුව දරුවා සවස 4.00 ට පමණ මියගියා."

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි එන්. එන්. රුහුල් හක්‌ මහතා විසින් මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ අතර, ඉදිරිපත්වූ සාක්‍ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂිකා ඉරේෂා දේශානි මහත්මිය මෙම මරණය පණු බෙහෙත් පෙත්තක භාගයක්‌ උගුරේ සිරවී ස්‌වසන මාර්ගය අවහිර වීමෙන් සිදුවූ මරණයක්‌ බවට නිගමනය කළේය.

කහතුඩුව පොලිසියේ පොලිස්‌ කොස්‌තාපල් ලහිරු මහතා (75308) මෙහිදී සාක්‍ෂි මෙහෙයවීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්