එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිවරයා ලෙස අමාත්‍ය කබීර් හෂීම් මහතාද මහලේකම්වරයා ලෙස අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාද පක්ෂයේ දේශපාලන උපදේශන මණ්ඩලය විසින් ඊයේ (25) තෝරා පත් කර ගැණිනි.
පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට පත් වුයේ අමාත්‍ය නවීන් දිසානායක මහතාය. මහා භාණ්ඩාගාරික ලෙස රාජ්‍ය අමාත්‍ය  හර්ෂ ද සිල්වා මහතාද තේරී පත් විණි.මෙම තෝරා ගැනීම් සිදු වුයේ දේශපාලන උපදේශන මණ්ඩලයේ වැඩි කැමැත්ත මතය පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාද උප නායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතාද දේශපාලන මණ්ඩලයේ ඒකමතික තීරණයෙන් යළි තේරි පත් විය.
මෙම තනතුරු අද (26) රැස් වෙන පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනිමට නියමිතය.
සෙසු නිලතල සඳහා අද පැවැත්වෙන පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදි තෝරා පත් කර ගැනිමට තීරණය විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදි දේශපාලන උපදේශන මණ්ඩලය රැස් විණි. පුරා පැය දෙකකට අධික කාලයක් රැස්විම පැවැත්විණි.

මෙම රැස්වීමට දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් වන සජිත් ප්‍රේමදාස, රවි කරුණානායක, නවීන් දිසානායක, අකිල විරාජ් කාරියවසම්, මංගල සමරවීර, රංජිත් මද්දුම බණ්ඩාර, ගයන්ත කරුණාතිලක, රුවන් විජේවර්ධන, අජිත් පී.පෙරේරා, ජේ.සී.අලවතුවල, නලීන් බණ්ඩාර සහ අශෝක ප්‍රියන්ත යන මැති ඇමතිවරුන් සහභාගි වී සිටියහ. හරීන් ප්‍රනාන්දු සහ එරාන් වික්‍රමරත්න යන ඇමතිවරුන් විදේශගත වී සිටින බැවින් රැස්විමට සහභාගී වී නොසිටියහ.

මෙම රැස්වීමට පෙර ආණ්ඩු පක්ෂයේ පසුපෙල මන්ත්‍රිවරුන්ගේ සහ අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්ද ඊයේ උදෑසන පැවැත්විණි. පක්ෂයේ තනතුරු සඳහා නවක මුහුණු පත් කළයුතු බවට රුවන් විජේවර්ධන කමිටු වාර්තාවේ නිර්දේශ අනුව පත් කිරීම් සිදු කළයුතු බව එම මන්ත්‍රිවරු අගමැතිවරයාට අවධාරණය කර තිබේ. පසුපෙල මන්ත්‍රිවරුන්ගේ එම ඉල්ලීමට අගමැතිවරයාගෛන් ඉහළ ප්‍රතිචාරයක් ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා සදහන් කළේය.