http://www.gossiplankanews.com/2018/04/renuka-canada-accident.html
කැනඩාවේ ටොරොන්ටෝ නුවර පදික වේදිකාවක් මතට වැන් රථයක් කඩා වැදීමෙන් පසුගියදා සිදුවූ අනතුර නිසා මියගිය පුද්ගලයින් 10 දෙනා අතර රේණුකා අමරසිංහ නමැති ශ්‍රී ලාංකික සම්භවය ඇති කාන්තාවද සිටින බව මේ වනවිට තහවුරු කර තිබේ.
ඇය හොරණ, කිදෙල්පිටිය. කට්ටිහේන ප්‍රදේශයේ පදිංචිව සිට මිට වසර 17 කට පමණ ඉහතදී
පුරවැසිභාවය ලබා කැනඩාවේ ස්ථිර පදිංචිය පිණිස ගිය කාන්තාවකි. 7 හැවිරිදි දරුවෙකුගේ මවක වන මියයන විට ඇය 45 වන වියේ පසුවූවාය.
කැනඩාවට වයාමට පෙර කුවේට් රටේ රැකියාවකද නිරතව සිටි බව කියන ඇය පසුව  කැනඩාවට සංක්‍රමණය වී තිබේ. මිට සතියකට පමණ ඉහතදී ශ්‍රී ලංකාවට පැමිණ සිය මව සහ සහෝදර සහෝදරියන් ද නෑ හිතවතුන් ද හමුවී දින කිහිපයක් මෙහි ගතකර ඇය ආපසු කැනඩාවට ගිය බව රේණුකාගේ සොයුරියක මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.

රැකියාවක් කරමින් සිය හත් හැවිරිදි දරුවා ද රැකබලා ගනිමින් රේණුකා අමරසිංහ මහත්මිය සමාජ සේවා කටයුතුවල ද නිරතව සිටි බවත් අනතුරට මුහුණ පා ඇත්තේ ටොරොන්ටෝ නුවර ශ්‍රී ලංකාවෙන් පැමිණි පවුල්වල දරුවන්ට සිංහල භාෂාව කතා කිරිමේ පන්තියක් පවත්වා සිය නිවස බලා යමින් සිටියදී යැයි පැවසේ. ඇය
ටොරොන්ටෝ බෞද්ධ විහාරයේ  දායිකාවක බවද පැවසේ.
සහෝදර සහෝදරියන් තිදෙනකුගෙන් යුත් පවුලක බාල සහෝදරිය වූ ඇය ගැන සහෝදරියක මෙසේ කීවාය.
"නංගි දැන් අවුරුදු 17 කට වැඩි කාලයක් කැනඩාවේ පදිංචි වෙලා ඉන්නේ. අවුරුදු තුනකට විතර පස්සේ පසුගිය අප්‍රේල් 2 දා එයා දරුවත් එක ලංකාවට ආවා. ඇවිත් අම්මාවත් බලලා එයාගේ කකුලේ තිබුණ පුංචි අසනීපයකටත් බෙහෙත් අරගත්තා. එයා හිටපු සති තුනක විතර කාලය හුඟාක් සතුටින් අපිත් එක්ක හිටියා. නංගි විවාහ වෙලා හිටපු කෙනා පුතා ඉපදිලා කෙටි කාලයකින්ම නංගීගෙන් වෙන් වුණා. ඒ නිසා එයාගේ පුතාව හුගක් ඉක්මනටම ආරක්ෂාකාරී තැනකට යොමු කරන්න කටයුතු කරනවා

කියලයි හිටියේ. නංගි අප්‍රේල් 17 වෙනිදා ලංකාවෙන් ගියා. එහේ ගිහින් එක දවසක් මට කතා කළා"
ඇගේ සහෝදරයා මෙසේ කියා ඇත.
"මියගිය නංගී මුලින්ම මාත් එක්ක කුවේට් රටේ රැකියාවට ගීයේ වර්ෂ 1994 දී විතර. එතැන අවුරුදු කිහිපයක් වැඩ කරලා නංගී 2001 දී අපි වැඩ කරපු තැන හිමිකරුගේ පුතා පදිංචිව හිටපු කැනඩාවේ ගෙදර රැකියාවට ගියා. එහිදී නංගී කළුතර ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක් සමග විවාහ වෙලා තිබුණා. එම විවාහයෙන් නංගිට ලැබුණු පුතා දැන් ඉස්කෝලේ යනවා. පෙරේදා (24) සවස මට නංගීගේ යාළුවෙක් කතා කරලා කිව්වා ඇක්සිඩන්ට් එකකින් නංගි මියගිහින් කියලා. එයාලා කිව්වේ නංගිගේ අවසන් කටයුතු ඒ රටේදීම් කරමු කියලයි."
ටොරොන්ටෝ නගරයේ පදික වේදිකාවට ඉකුත් 23 වැනි දින වෑන් රථයක් කඩාවැදීමෙ සිද්ධිය ත්‍රස්ත ක්‍රියාවක්ද නැද්ද යන්න තවම අනාවරණය වී නැත. සිද්ධියෙන් 10  දෙනෙකු මිය ගොස් 15 දෙනෙකු තුවාල ලබා ඇත.