ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරුන් අද (10) පැවැත්වෙන කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව ඊයේ (09) රාත්‍රීයේදී තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්‍ෂයේ ඇමතිවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරුන්ට අපහාස කිරීම් වලට විරෝධය පළ කිරීමක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරුන් කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට තීරණය කර ඇතැයි පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පැවැති ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවේ සිටිනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා තෙක් හෙට (10) පැවැත්වෙන කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට තීරණය කළ බව එම පක්‍ෂයේ ප්‍රකාශකයකු පැවසීය.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග

යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන් ශ්‍රී.ල.නි.ප. ඇමතිවරුන්ට අමතරව පක්‍ෂයේ සෙසු කැබිනට් ඇමතිවරුන්ද කැබිනට් රැස්වීමට සහභාගී නොවන බව ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට අද පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී අනුර ප්‍රියදර්ශන යාපා මහතා යෝජනා කර ඇති අතර එස්.බී. දිසානායක මහතා එය ස්ථීර කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට අනුර ප්‍රියදර්ශන යාපා, එස්.බී. දිසානායක, දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා, ලක්‍ෂමන් යාපා අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු කිහිප දෙනෙකු දැඩිව ප්‍රකාශ කොට ඇතැයි ද අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන් ශ්‍රී.ල.නි.ප. ඇමතිවරුන් 16 දෙනා සකස් කළ වාර්තාවක් ද මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කොට ඇතැයිද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හදිසි නොවී පක්‍ෂයක් වශ්‍යයෙන් තීරණයක් ගත යුතු බවත් ශ්‍රී.ල.නි.ප. මැති ඇමතිවරුන් 41 දෙනාම එකට සිටිය යුතු බවත් ප්‍රකාශ කොට ඇත.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන් ශ්‍රී.ල.නි.ප. ඇමතිවරුන් ඉවත්වීමට කර ඇති ඉල්ලීම හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වන්නේද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අද හෙටම රැස්වී තීන්දුවක් ගැනීමටද එහිදී තීරණය වී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බව මධ්‍යම කාරක සභාවේ වැඩි දෙනෙකු ප්‍රකාශ කර ඇති අතරම විශ්වාසභංග යෝජනාවට සහය දුන් ශ්‍රී.ල.නි.ප. ඇමතිවරුන් කැබිනට්ටුවෙන් ඉවත්වීය යුතු බවට මෙන්ම එලෙස යෝජනාවට සහය දුන් ශ්‍රී.ල.නි.ප. ඇමතිවරුන්ට එරෙහිව එජාප ඇමතිවරුන් කිහිප දෙනෙකු විසින් පසුගියදා කර තිබු ප්‍රකාශ වලට විරෝධය පළ කිරීමක් ලෙස ශ්‍රී.ල.නි.ප. ඇමතිවරුන් සියළු දෙනා හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමට සහභාගී නොවීමට තීරණය කොට ඇති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මධ්‍යම කාරක සභාව අනිද්දා (11) රැස්වී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.