5.15pm update

 එජාපෙ 28 ක් විශ්වාසභංගට විරුද්ධයි
රංගේ බණ්ඩාරගෙන් විශේෂ මාධ්‍ය හමුවක්


එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ඇතුළු එජාප මන්ත්‍රීන් 28 දෙනෙකු විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට තීරණය කර ඇති බව කියමින් එජාප මන්ත්‍රී පිරිසක් මේ වනවිට
කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබෙන බව වාර්තාවේ.

11.30am update

ෆවුසි කිව්වෙ බොරු 
ශ්‍රීලනිප 30 ක්ම රනිල්ට විරුද්ධව ඡන්දෙ දෙනවා
-ලක්ෂ්මන් යාපා සහ ඩිලාන්

ඒ.ච්.එම්. ෆවුසි රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවත්, විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවත් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසා ඇත. විශ්වාසභංග යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය භාවිත කරන බව

මහින්ද අමරවීර මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවට ආ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 30 දෙනෙකු පොරොන්දුවූ බව කියන ඔවුන් මෙම රැස්වීම සඳහා ඒ.ච්.එම්. ෆවුසි මහතා සහභාගී නොවූ බවත් ඔහු වැරදි මතයක් දක්වා ඇති බවත් දන්වා ඇත.
ඔවුන් කියන ආකාරයට සිදුවේ නම් දළ වශයෙන් රනිල් පරදන යෝජනාවට ඉඟි කර ඇති පිරිස 62 +30 = 92 දක්වා ඉහළ ගොස් ඇත.

10.30am update
අවසානයේ ශ්‍රීලනිපය මග හරී
විශ්වාස භංගය පුස්සක් වන ලකුණු
පුළුවන්නම් 50 ක් අරං පෙන්නන්න - අකිල කියලා

අගමැතිවරයාට එරෙහිව අද දිනයේදී පැවැත්වෙන විශ්වාස භංගයේදී ගන්නා අවසන් ස්ථාවරය අද උදේ ලබාගත් පසු රාජ්‍ය ඇමති ඒ එච් එම් ෆවුසි මහත සඳහන් කරනු ලැබුවේ  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ස්ථාවරය වන්නේ විශ්වාසභංගයට ඡන්දය නොදී සිටීම බවයි.
විශ්වාස භංග විවාදය සදහා මේ වන විටත් කිසිදු ශ්‍රීලනිප මැති ඇමතිවරයෙකු පාර්ලිමේන්තුවට පැමිණ නැති අතර ඒ සදහා අවසානයට සහභාගී වන පිරිස ඔවුන් වනු ඇතැයිද වාර්තා වෙයි.
විශ්වාස භංගය සම්බන්ධයෙන් තමන්ගේ හෘද සාක්ෂියට අනුව ඕනෑම තීරණයක් ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ අවසර ලබාදී තිබුණ අතර
අද රාත්‍රියේ පැවැත්වීමට නියමිත අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද

උදෑසන තීරණය කර තිබෙනවා.
මුලින් වාර්තාවූයේ ශ්‍රිලනිපයේ කොටසක් පක්ෂව හා කොටසක් විපක්ෂව ඡන්දය දෙනු ඇති බවක් වන නමුත් විපක්ෂව ඡන්දය දෙන අය දේශපාලන අනාථයන් බවට පත්වීමේ අවදානම මත දිගින් දිගටම මෙම සාකච්ඡාව පැවතී අවසානයේ ඡන්දය නොදී සිටීමට තීරණය කර ඇත.
එය රනිල් වික්‍රමසිංහට වාසිදායි තීරණයක්ව ඇත.
අද විශ්වාසංභංග විවාද යෝජනාව ගෙන එමින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සභාවේ කළ කතාව අතරතුර
අද හවස පුළුවන් නම් ඡන්ද 50 ක් අරං පෙන්නන්න යයි ඇමති අකිල විරාජ්ද දන්වා සිටියේය.
පාර්ලිමේන්තුවේ සංයුතිය වනුයේ එජාප 103 එජාපයේ සිට ස්වාධීන වූ 2 (රතන හිමි හා විජේදාස රාජපක්ෂ) ඒකාබද්ධ විපක්ෂය 54 ශ්‍රිලනිප ප්‍රමුඛ සංධානය 48 ද්‍රවිඩ සංධානය 16 ජවිපෙ 6 ශ්‍රිලමුකො 1 ඊජප්‍රප 1 ලෙසිනි.
මේ අනුව විශ්වාස භංගයට පක්ෂව ඡන්දය පළකරන බවට මේ වනවිට ප්‍රසිද්ධියේ ඉඟිකර හෝ පවසා ඇත්තේ 54+2+6 = 62 කට ආසන්න පිරිසක් පමණි.

 ---------------------------------------
 8.30am update
විශ්වාස භංගය අද දවස පුරාම ශ්‍රීලනිප කොටසක් හා මුස්ලිම් පක්ෂ රනිල්ගේ සහායට

ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද උදේ 9.30 සිට රාත්‍රී 9.30 දක්වා පැය 12 කට ආසන්න කාලයක් පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා අතර රෑ 9.30 ට එක් එක් මන්ත්‍රීවරයා නම් කර විමසන ඡන්ද විමසීමකින් පසු අවසන් වේ.

ශ්‍රීලනිප කණ්ඩායම විශ්වාස භංගයට පක්ෂව ඡන්දය පාවිච්චි කරන බව පෙරේදා තීරණය කළත්

මහ ලේකම් දුමින්ද දිසානායක, විජිත් විජිතමුණි සොයිසා, සහ ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන් යෝජනාවට විපක්ෂව ඡන්දය පාවිච්චි කිරීමට බොහෝදුරට ඉඩ ඇතිබව දේශපාලන ආරංචි සඳහන් කරයි.
එසේම, ආචාර්ය සරත් අමුණුගම, මහින්ද අමරවීර, රන්ජිත් සියඹලාපිටිය, පියසේන ගමගේ,

මනුෂ නානායක්කාර, මහින්ද සමරසිංහ, එච්. ආර්. සාරතී දුෂ්මන්ත යන මැති ඇමතිවරුන් ඡන්දය පාවිච්චි කිරීමෙන් වැලකි සිටීමට තීරණය කර ඇතැයි ද වාර්තාවේ.
විශ්වාස භංගය සම්බන්ධයෙන් තමන්ගේ හෘද සාක්ෂියට අනුව ඕනෑම තීරණයක් ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදී ඇතැයි කියන උපදෙස් මත මේ ආකාරයේ බෙදීමකින් ඡන්දය ලබාදීම විනය ප්‍රශ්නයක් මතු නොකරනු ඇතැයි පැවසේ.
ඇමති දුමින්ද දිසානායක බීබීසිය අමතා පවසා ඇත්තේ "මෙම විශ්වාසභංග යෝජනාව මගින් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම අපේක්ෂා කරන්නේ ආණ්ඩුව අර්බුදයකට පත් කරමින් ඔවුන්ගේ දේශපාලන ගමන් මාර්ගය තවත් ශක්තිමත් කර ගැනීමක් පමණයි‘ යනුවෙනි.

ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සිය පක්ෂයේ ස්ථාවරය පිළිබඳව ඊයේ රාත්‍රියේ පැවසුවේ, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු සියලු දෙනාම විශ්වාසභංගයේදී අගමැතිට එරෙහිව සිය ඡන්දය ප්‍රකාශ කරන බව ය.

 ඊයේ රාත්‍රියේ මුස්ලිම් කොංග්‍රස් පක්ෂ මූලස්ථානයේදී මේ පිළිබඳව කළ සාකච්ඡාවකින් අනතුරුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 දෙනා විශ්වාසභංගයේදී ආණ්ඩුවට පක්ෂව ඡන්දය භාවිත කිරීමට තීරණය කර තිබේ.

මේ අතර සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම ද විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට සහය පළ කරන බව පවසා ඇත.