කැලිෆෝනියාහි පිහිටි 'යූටියුබ්' (YouTube) මූලස්ථානය තුළදී ඊයේ පුද්ගලයන් තිදෙනෙකුට වෙඩි තබාගෙන තමාටද වෙඩි තබාගෙන කාන්තාවක මියගියේ පෙම් හුටපටයක් නිසා බවට මුලින් වාර්තා පළවුවද මේවනවිට එය වෙනත් ගැටලුවක් නිසා සිදුව ඇති බවට සොයාගෙන තිබේ.
තිස්නව හැවිරිදි නසීම් අග්දම් නමැති ඉරාන ජාතික කාන්තාවක් මෙසේ මියගොස් ඇත්තේ 'යූටියුබ්' අඩවියේ
ඇය පවත්වාගෙන ගිය පෞද්ගලික යූටියුබ් නාලිකාවක් අසාධාරණයට ලක්වූ බව චෝදනා කරමිනි.
වසර කිහිපයක සිට ඇය සත්ව හිංසනය, යෝග ක්‍රම ආදිය දැනුවත් කරන වීඩියෝ ප්‍රචාරය කර තිබුණ අතර විශාල නැරඹූම් තිබුණ ඒ වීඩියෝ පට එම ආයතනය විසින් නිරීක්ෂණය කර ඉවත් කරනු ලැබීම නිසා ඇයට මූල්‍යමය වශයෙන් අවාසියක් අසාධාරණ ලෙස සිදුවූ බව ඇගේ චෝදනාවයි.

'යූටියුබ්' ආයතනය තම වීඩියෝ ඉවත් කිරීමෙන් පසු ඉන් ලැබෙන ආදායම අඩු වීම නිසා නසීම් කෝපයට පත් වී සිටි බවත් ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන්නට ඇය යූටියුබ් ආයතනයට පැමිණියද ඔවුන් ඇයට සහනයක් ලබාදී නැත.
එම වෙඩි පහරින් තිස් දෙහැවිදිරි සහ විසිහත් වියැති කාන්තාවන් දෙදෙනෙකු සහ තිස්හය වියැති පුරුෂයෙකු තුවාල ලබා ඇති අතර, ප්‍රහාරක කාන්තාවත් එම ස්ථානයේදීම වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇත.
තුවාල ලද තිස්හය වියැති පුද්ගලයා මේ වන විට අසාධ්‍ය තත්වයේ පසු වන බව වාර්තා වෙයි.
ඉරානයෙන් සංක්‍රමණයවී ඇය ජීවත් වූයේ කැලිෆෝනියාවේ 'සැන් දීගෝ' නගරයේය.
ඇය විසින් පවත්වා ගෙන ගිය 'නසීම් වොන්ඩර්1' (Nasime Wonder1) 'යූටියුබ්' නාලිකාවේ විශාල පිරිසක් සාමාජිකත්වය ලබා සිටි අතර එම සංඛ්‍යාවන් අවම කරන්නට යූ ටියුබ් කටයුතු කළ බව හා ඇතැම් ළුීඩියෝ අසාධාරණ ලෙස ඉවත් කිරීම ගැනද ඇය විසින් පසුගිය කාලයේ චෝදනා නගමින් තවත් ළුීඩියෝ ප්‍රචාරය කර තිබුණි.
වෙඩි තැබීමෙන් පසු නසීම්ගේ යූටියුබ්, ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් ගිණුම් සියල්ල ඉවත් කිරීමට කටයුතු කර ඇත.
අඟහරුවාදා (03) දින 'සැන් බෘනෝ' ප්‍රදේශයේ පිහිටි 'යූටියුබ්' මූලස්ථානයේ සේවකයන් දහවල් ආහාරය ලබා ගන්නා ස්ථානයට පිටත පිහිටි දොරකින් ඇතුළු වූ නසීම් ඉහත කී වෙඩි තැබීම සිදු කර ඇත.