හදවත් සැත්කම් කිරීමට නීත්‍යනුකූල බලපත්‍රයක් නොමැති එංගලන්ත ජාතික රිචඩ් පර්මින් නමැති වෛද්‍යවරයා කරාපිටිය ශික්‍ෂණ රෝහලට පැමිණ නැවත සැත්කම් ආරම්භ කළහොත් මේ රෝහලේ හෘද හා උරස් කුහර ශල්‍ය ඒකකයේ නිර්වින්දන වෛද්‍යවරුන් තම සේවා කටයුතුවලින් ඉවත්වීමට ඒකමතිකව තීරණය කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය රෝහල් ශාඛාවේ සම ලේකම් වෛද්‍ය කේ.ටී. සමරරත්න මහතා පවසයි.
රිචඩ් පර්මින් නමැති එංගලන්ත ජාතික වෛද්‍යවරයාට කරාපිටිය රෝහලේදී සැත්කම් කිරීමට මෙරට වෛද්‍ය සභාව අනුමතය ලබාදීමට විරෝධය පළ කරන බවද ඒ මහතා කීය.

රජයේ වෛද්‍ය

නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ වෛද්‍යවරුන් රැස්වී ඒකමතිකව මේ තීරණය ගත් බවත් මේ පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා, රෝහල් අධ්‍යක්‍ෂවරයා සහ වෛද්‍ය සභාව වෙතද ලිඛිතව දැනුම්දී ඇති බව පවසන සමරරත්න මහතා මෙම තීරණයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පූර්ණ අනුමතය ලැබී ඇති බවද කීය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ සමරරත්න මහතා මෙසේද කීය. මේ වෛද්‍යවරයාට හදවත් සැත්කම් කිරීමට එංගලන්ත වෛද්‍ය සභාව විසින් බලපත්‍රයක් ලබාදී නැහැ. එවැනි නීත්‍යනුකූල බලපත්‍රයක් නොමැතිව 2015 වසරේ සිට මෙම වෛද්‍යවරයා මෙරටට පැමිණ හදවත් සැත්කම් කරනවා. මෙය ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්. එම නිසා මේ වෛද්‍යවරයා මෙරටට පැමිණ හදවත් සැත්කම් කිරීම එංගලන්ත නිතිය අනුව අපරාධමය ක්‍රියාවක් බව අප කල්පනා කරනවා.

අහංගම - එන්.ජී. ලියනගේ