දින පහළොවකට ඉහතදී විවාහ වූ යුවළක් නිවෙසට අවශ්‍ය භාණ්ඩ කිහිපයක් මිලදී ගැනීමට මැදවච්චිය නගරයට යතුරුපැදියකින් යමින් සිටියදී වෑන් රථයක ගැටී සිදුවූ මාරක රිය අනතුරකින් නව යුවළ බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්වී වෑන් රියැදුරාත් බරපතළ තුවාල සහිතව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත්
කළ බව මැදවච්චිය පොලිසියේ රථවාහන අංශය පවසයි.
මැදවච්චිය පොලිස් වසමේ පහේ කණුව කරප්පන්කුළම කැදෑව මාර්ගයේ ගිරාකැත්තෑව ප්‍රදේශයේ සිදුවූ මෙම අනතුරින් බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ගල්කන්දේගම, මැදවච්චිය ලිපිනයේ පදිංචිව සිටි ලලිත් ප්‍රේමතිලක (25) හා

ඔහුගේ බිරිය වූ සඳුනිකා ලලනි (21) යන අයයි.
මරණයට පත්වූ දෙදෙනා පසුගිය පස් වැනිදා විවාහ වී ඇති බවත් ඔවුන් දෙදෙනා නිවෙසට අවශ්‍ය භාණ්ඩ කිහිපයක් මිලදී ගැනීම සඳහා යතුරුපැදියෙන් මැදවච්චියට එමින් සිටියදී අනතුරට මුහුණපා තිබෙන බවත් පොලිසිය පැවැසුවේය.
යතුරුපැදිය අධික වේගයෙන් පැමිණ ඇඟලුම් කම්හල් සේවිකාවන් ප්‍රවාහනය කළ වෑන් රථයේ ගැටීම නිසා වෑන් රථයේ දකුණු පසට බරපතළ හානි සිදුවී ඇති බවත් යතුරුපැදියත් අනතුරෙන් විනාශයට පත්වී තිබෙන බවත් පොලිසිය සඳහන් කළේය.
මැදවච්චිය පොලිසියේ රථවාහන අංශය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතර වෑන් රථයේ රියැදුරා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
අනුරාධපුර - මහේෂ් විජේසූරිය