පහළොස් හැවිරිදි බාලයවස්කාර දැරියක සමග දින හයක සිට අතුරුදන්ව සිටි 36 හැවිරිදි පුද්ගලයකු පෙරේදා (03)දා කඩුගන්නාව දුම්රිය ස්ථානයේදී අත්අඩංගුවට ගත් බව හෙම්මාතගම පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රඹුක්කන, ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ දැරිය සැකකරු විසින් අවස්ථා කිහිපයකදීම අපයෝජනය කර ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.


හෙම්මාතගම, ගිනිහප්පිටිය ප්‍රදේශයේ පදිංචි අදාළ දැරිය පසුගිය 29 වැනිදා පාසල් ගොස් නැවත නිවසට නොපැමිණි බවට දැරියගේ මව විසින් හෙම්මාතගම පොලීසියට පැමිණිලි කර තිබිණි. මේ අතර, අදාළ දැරිය සැකකරු සමග කඩුගන්නාව දුම්රිය ස්ථානයේ රැදී සිටින බවට පෙරේදා (03දා)

හෙම්මාතගම පොලීසියට ලද තොරතුරක් අනුව එහි ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අදාළ දැරිය හා එක්දරු පියෙකු වන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඊයේ (04දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර,  දැරිය අධිකරණ වෛද්‍යවරයෙකු
වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගැනීමට නියමිතව තිබිණි.

සැකකරු 25 හැවිරිදි කාන්තාවක සමග විවාහ වී පාසල් යන වයසේ දරුවෙකු සිටින බවත්, ඔහු මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක සේවය කරන්නෙකු බවත් මූලීක පොලීස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. හෙම්මාතගම ප්‍රදේශයේ රැකියාව සඳහා පැමිණ ඇති සැකකරු අදාළ දැරියගේ සහෝදරයෙකු සමග ඇති කර ගත් මිත්‍රත්වයක් මත අදාල දැරියගේ නිවසට නිරන්තරයෙන් පැමිණ ඇති බවත්, පසුව ඔහු අදාළ දැරිය සමග
ප්‍රේම සබඳතාවක් ඇතිකර ගෙන ඇති බවත් හෙළිව ඇත.

සැකකරු අදාළ දැරිය සමග දින කිහිපයක් උඩුදුම්බර ප්‍රදේශයේ සිය මිත්‍රයෙකුගේ නිවසේ සිට පසුව පොළොන්නරුවේ පිහිටි සිය නිවසට යෑමට දුම්රිය පොළට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
තමන් අදාළ දැරියගේ කැමැත්ත අනුව ඇය රැගෙන ගිය බව සැකකරු පොලීසියට පවසා ඇත. කෑගල්ල පොලීසිය විසින්  මෙම වැටලීම සිදු කළහ.