හුස්ම හිරවී මියගිය
පල්ලේකැලේ මුස්ලිම් තරුණයා ආබාධිතයෙක්‍
මරණය ඝාතනයක් ලෙස සලකා පරීක්ෂණ

පසුගියදා මහනුවර ඇතිවූ කලබලකාරී තත්වය මධ්‍යයේ  මහනුවර පල්ලේකැලේ  කෙන්ගල්ල ප්‍රදේශයේ නිවසකදී හමුවූ මුස්ලිම් තරුණයාගේ මරණය ඝාතනයක් සේ සලකා පරීක්ෂණ සිදු කරන බව පොලිසිය දන්වා තිබේ.
28 හැවිරිදි අබ්දුල් බාස්ත්  නමැති මෙම තරුණයා ආබාධිත තත්වයේ පසුවූවෙකි. ඔහු සිටි නිවස හා ආසන්නයේ පිහිටි ඔවුනට අයත් කඩයට
ගිනි ඇවිළුණ අවස්ථාවේ ඔහුගේ සහෝදරයා සහ දෙමාපියන් එහි නොසිටියෙන් දිවි බේරාගෙන ඇති නමුත් ගිනිගනිමින් තිබුණ නිවස පරීක්ෂාවට පැමිණීමේදී

දුම ආඝ්‍රාණය වීමෙන් මියගිය තරුණයාගේ සිරුර ඔවුනට හමු විය.
 නිවස පිළිස්සුණු අවස්ථාවේ ඔහුට පළායන්නට නොහැකිවීමෙන් සිරවී දුමට හසුවන්නට ඇති බවට සැක කෙරිණි. මේ සිද්ධිය මිනී මැරුමක් සේ සලකා විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
එම නිවසට සහ ඒ අසල කඩයට ගිනි තැබූ පිරිස් ගැන වැදගත් තොරතුරු රැසක් ලැබී ඇතැයිද සීසීටීවී දර්ශන සහ වීඩියෝ දර්ශන ඊට උපයෝගී කර ගත් බවද පොලිසිය දැනුම් දී තිබේ.
පසුගිය හය වැනි දා උදෑසන මහනුවර පල්ලේකැලේ කෙන්ගල්ල නිවසක තිබී මෙම තරුණයාගේ මළ සිරුර හමු විය.   දුම ආඝ්‍රාණය වීම නිසා මියගොස් ඇතැයි මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.