යාපනයේ චාවකච්චේරී ප්‍රදේශයෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් භාවිත කරන ලද බවට සැක කෙරෙන මරාගෙන මැරෙන සාමාජිකයන් විසින් පලඳින ඇඳුමක් ඉකුත් දා (12දා) සවස හමුවී තිබේ.
 යාපනය චාවකච්චේරිය මුරුතඩි මාර්ගයේ ජලනළ එළීම සඳහා ජල සම්පත් මණ්ඩලයේ කොන්ත්‍රාත්කරුවන් විසින් බැකෝ යන්ත්‍රයකින් මහාමාර්ගය හාරමින් සිටියදී
මේ ඇඳුම්

කට්ටලය හමුවී තිබේ. වහාම සිද්ධිය පිළිබඳ පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිසිය පැමිණ එම ඇඳුම් කට්ටලය රැගෙන ගොස් තිබේ. චාවකච්චේරි පොලිසිය පැවැසුවේ මරාගෙන මැරෙන සාමාජිකයන් විසින් භාවිත කරන මෙවැනි ඇඳුම් කට්ටල රජයේ ආරක්ෂක අංශ භාවිත නොකරන බවය.
කෙසේ වෙතත් මීට බොහෝ කාලයකට පෙර මේ ඇඳුම් කට්ටලය එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මේ ස්ථානයේ වළ දමන්නට ඇතැයි ද පොලිසිය පැවැසීය. එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඔවුන්ට විරුද්ධ පුද්ගලයින්ව මරා දැමීමට යොදාගත් පුපුරන ද්‍රව්‍ය ඇතුළුකොට විශේෂයෙන් සකසන ලද මේ ඇඳුම එහි කෙළවරක සවි කොට ඇති බොත්තම ක්‍රියාත්මක කළ සැණින් පුපුරා යන ආකාරයෙන් සකස් කරන ලද්දකි. චාවකච්චේරි පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.