Kandy Issue 12.30 pm Updates
  • මහනුවර  නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය
  • අන්තර්ජාල වේගය අඩුවේ
  • පොලිස් කණ්ඩායම් 3ක් උඩ රටට

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට වහාම ක්‍රියාත්මකවන පරිදි නැවත දැනුම්දෙනතුරු යළි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබෙනවා.

තෙල්දෙණිය, දිගන සහ පල්ලෙකැළේ යන ප්‍රදේශවලට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාවට අමතරව යුද හමුදාව ඇතුලු ආරක්ෂක හමුදා කණ්ඩායම්ද
යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

එමෙන්ම රටේ ස්ථාන කිහිපයක පවතින අසතුටුදායක ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගෙන සතියක කාලසීමාවක් සඳහා ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඊයේ පස්වරුවේ සිට

ක්‍රියාත්මක වන පරිදි හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කළා.

ඒ, මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන කොටස බලාත්මක කරමින්.

මේ අනුව හදිසි අවස්ථාවක් ක්‍රියාත්මක කිරීමෙන් පනවනු ලබන රෙගුලාසි මගින් පවතින තත්ත්වය සමනය කිරීමට අවශ්‍ය නෛතික බලතල පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවට පැවරෙනු ඇති.

පොලිස් කණ්ඩායම් 3ක් උඩ රටට

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් මහනුවර දිස්ත්‍රික්කය වෙත පිටත් කර යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.


අන්තර්ජාල වේගය අඩුවීම


අන්තර්ජාල වේගය අඩුවීම ගැන විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවෙන්  කළ විමසීමක දී ඔවුන් කියා සිටියේ මහනුවර ප්‍රදේශයට අන්තර්ජාලයට පිවිසීමේ වේගය සීමා කර ඇති බවයි.

එයට හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ මහනුවර ප්‍රදේශයේ ඇතිවී ඇති නොසන්සුන්කාරී තත්ත්වය පාදක කරගෙන සමාජජාල මඟින් සහ වෙබ් අඩවි තුළින් බොරු ප්‍රචාර පතුරුවන පුද්ගලයින් හඳුනාගැනීමට මෙය සිදු කළ බවයි.

ආරක්ෂක අමාත්‍යාංශයෙන් මෙම ඉල්ලීම කර ඇති බව ද විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව පවසයි.

කෙසේ හෝ අද දිනය ඇතුළත මෙය සාමාන්‍ය තත්ත්වයට පත් කරන බවද විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව වාඩි දුරටත් කියා සිටියේය.

මේ අතර ඩයලොග් සමාගමක්ද සිය ට්විටර් පණිවිඩයක් මඟින් පවසා තිබුණේ මහනුවර දිස්ත්‍රික්කය තුළ අන්තර්ජාලයට පිවිසීමේ වේගය සීමා කර ඇති බවයි.

කෙසේ වෙතත් මේ වන විට මහනුවර, පරිපාලන දිස්ත්‍රික්කය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවතත් පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.

නැවත දැනුම් දෙන තුරු මෙය ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය