කොළඹ-හැව්ලොක්ටවුන් හි පිහිටි එළිසබෙත් ටවර් නිවාස සංකීරණයේ හයවැනි මහලේ නිවෙසකට හොර රහසේ ඇතුළු වී එම නිවසේ තිබූ රුපියල් ලක්ෂ 59ක් පමණ වටිනා උපකරණ තොගයක් කිසියම් පුද්ගලයකු විසින් සොරාගෙන ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි.
නිවාස සංකීර්ණයේ පිටතින් සවිකර තිඛෙන මළ අපද්‍රව්‍ය පිටකිරීමට ඇති නළයක් දිගේ බඩගාගෙන ගොස් හයවැනි මහලට ඇතුළු වී තිබෙන බව පරීක්‍ෂණවලින් පෙනී යන්නේ යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියක් ලංකාදීපයට පැවසීය. නළය දිගේ බඩගාගෙන ගොස් හයවැනි මහලට ගොඩවී ඇති සොරා එම

මහලේ පිහිටි කෝටිපති ව්‍යාපාරිකයකුට අයත් නිවසට ඇතුළු වී ඇත්තේ එහි ජනේලයක්ද කඩා බව පොලිසිය කියයි.
නිවසේ අල්මාරි තුනක් කඩා ඒවායේ බහා තිබූ ස්වර්ණාභරණ තොගයක් මෙසේ සොරාගෙන ගොස් ඇති බවට එම කෝටිපති ව්‍යාපාරිකයා වැල්ලවත්ත පොලිසියේ අපරාධ විමර්ශන අංශයට ගොස් පැමිණිලි කර ඇත.
සොරකම සිදුවන අවස්ථාවේ කිසිවකු නිවසේ නොසිටි බවත් ලක්‍ෂ 59ක් පමණ වටිනා මෙම ස්වර්ණාභරණ සිය බිරිඳ සහ දියණියට අයත් ඒවා බවට කෝටිපති ව්‍යාපාරිකයා පැවසී යැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිය කීය.
කෝටිපති ව්‍යාපාරිකයා සහ පවුලේ අය නිවෙසට පැමිණි අවස්ථාවේ අල්මාරි තුනක් කඩා තිබෙන බව දැක ගැනීමට හැකි ඒවා පරීක්ෂා කර බැලීමේදී ඒවායේ බහා තිබූ ස්වර්ණාභරණ නොමැති බව දැකගැනීමට ලැබී ඇතැයි පොලිසිය පවසයි.