දියතලාව බස් බෝම්බය ගෙනිච්චේ
දිවිනසාගන්න හිතාගෙන
- සාජන් මේජර් පාපොච්චාරණය කරයි

රුපියල් ලක්‍ෂ 20ක පමණ ණය බරකින් සිටීම නිසා ඇතිව තිබූ සිත්තැවුලක් හේතුවෙන් නිවෙසේ සඟවා තිබූ අත්බෝම්බය තමා රාජකාරිය කරන කහගොල්ල යුද හමුදා කඳවුරට රැගෙන විත් පුපුරුවා ගෙන සියදිවි හානිකර ගැනීමට සැලසුම් කර සිටි බව
දියතලාව බස් රථ පිපිරුමෙන් බරපතළ තුවාල සිදුවූ සාජන් මේජර්වරයා පොලිසිය හමුවේ පාපෝච්චාරණය කර තිබේ. දියතලාව මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ ප්‍රතිකාර ලබන සාජන් මේජර්වරයා පොලිස් ප්‍රශ්න කිරීමේදී මේ බව පාපෝච්චාරණය කර ඇත.


          පෙරේදා (28දා) පස්වරුවේ මේ සම්බන්ධයෙන් දියතලාව පොලිසියේ නිලධාරීන් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ඔහු කියා ඇත්තේ අදාළ බෝම්බය 2015 වසරේදී මුලතිව් ප්‍රදේශයෙන් සොයා ගත් එකක් බවය. එල්.ටී.ටී.ඊ.ය භාවිත කළ වාහන කිහිපයක් ගාල් කර තිබූ ස්ථානයක මෙම අත්බෝම්බය තිබී හමු වූ බව ද පසුව ඔහු එය එම ප්‍රදේශයේ කැලෑ ප්‍රදේශයක සඟවා 2017 වසරේදී මාතලේ ඔහුගේ නිවෙසට රැගෙන ආ බවද සාජන් මේජර්වරයා පාපෝච්චාරණය කර තිබේ. නිවෙසේ සඟවා තිබූ එය සිය ගමන් බෑගයේ දමා කහගොල්ල හමුදා කඳවුරට රැගෙන එමින් සිටි බව ද බස් රියෙන් බැසීමට සුදානම් වීමේදී එය වැටී පුපුරා ගිය බව ද සාජන් මේජර්වරයා පොලිස් නිලධාරින් ඉදිරියේ පාපෝච්චාරණය කර ඇත.

         සියදිවි හානිකර ගැනීමෙන් පසු තමා එම ණය බරින් නිදහස් වන බවත්, ඔහුගේ වැටුප ද සිය බිරියට ලැබෙන නිසා මෙම තීරණය ගත් බවත් පොලිස් ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත.
මේ සම්බන්ධයෙන් ඊයේ දින ඔහුගේ බිරිගෙන් ද පොලිස් නිලධාරීන් ප්‍රශ්න කර තිබේ.
මෙම සාජන් මේජර්වරයා තිදරු පියකු බව ද පොලිසිය පවසයි. බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සී.ඒ. ප්‍රේමශාන්ත, බණ්ඩාරවෙල කොට්ඨාස භාර පොලිස් අධිකාරී සුදත් මාසිංහ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය මත දියතලාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක හරි හල්පිට මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත ඒ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරේ.