හබරාදුවේ පිහිටි ළමා නිවාසයක සිටි බාල වයස්කාරය දැරියන් පස් දෙනෙකුට වරින්වර ලිංගික අතවර සිදුකළ එම ළමා නිවාසයේ සේවකයකු හබරාදුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් පෙරේදා (04දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සේවකයා හබරාදුව ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි. ඔහු වසර එකොළහක් තිස්සේ මෙම ළමා නිවාසයේ
සේවය කොට ඇති බැව් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

 මෙම සේවකයා දැනට මාසයක පමණ සිට වරින්වර  මෙම දැරිවියන් පස් දෙනාට ලිංගික අතවර කොට ඇති බව

පැමිණිලිවලදී අනාවරණය වී ඇත. මෙසේ ලිංගික අතවරවලට ලක්කොට ඇත්තේ අවුරුදු එකොළාහක් වියැති දැරියන් දෙදෙනෙකු, දහතුන් හැවිරිදි වියේ පසුවන දැරියක්  හා පහළොස් හැවිරිදි වියේ පසුවන දැරියන් දෙදෙනකුටයි. ලිංගික අතවරයට ලක් වූ එක් දැරියක් විසින් මේ බව ළමා නිවාසයේ සිටින සෙසු දැරියන් සමග පවසා තිබේ. එමෙන්ම මෙම සේවකයා එනවිට දැන් ඔහු මගහැර යන තත්ත්වයන්ද ඇති වී තිබේ.

මේ ගැන ළමා නිවාසයේ සහකාර පාලිකාව විසින් දැවීයන්ගෙන් ප්‍රශ්නකොට මේ බව තහවුරු කරගැනීමෙන් පසු හබරාදුව පොලිසියට පැමිණිලී කොට ඇත. වහා ක්‍රියාත්මක වු හබරාදුව පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති මංගලිකා සුරියආරච්චි මහත්මිය මේ ගැන සිදු කළ විමර්ශනයකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු විසින් දැරියන් සිප වැලඳ ගැනීම ඇතුළු ලිංගික අතවර සිදුකොට ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. සැකකාර සේවකයා ඊයේ (05) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. හබරාදුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාලයේ ස්ථානාධිපති උ පො.ප. මංගලිකා සූර්යආරච්චි මහත්මිය ඇතුළු නිලධාරීන් විසින් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.