එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සංගමය නමැති පක්ෂයකින් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවට මෙවර වැදි ජනයා නියෝජනය කරන අපේක්ෂකයෙකු මැතිවරණයට ඉදිරිපත්ව තිබේ.

ඔහු මාධ්‍ය අමතා මැතිවරණයට තරග කරන්නට හේතුවූ කරුණු පහදා තිබුනේ පහත පරිදිය.

‘හේනානිගල බහු ආසනයක්. මෙහේ ජීවත් වන්නේ ආදිවාසී ජනතාව. අපේ රැහේ ඇත්තන් දැන් කොටා බාන්නෙත් හරිම අමාරුවෙන්. අපි කැලේ ජීවත් වෙනකොට මෙතරම් ගැටුම් පොජ්ජක් තිබුණේ නෑ. එදා අපේ ජීවිත හරි සරලයි. රැහේ උන්ට ඉන්න තැන් පොජ්ජක් නෑ. ඉඩම් පොජ්ජක්නැ.

රස්සා පොජ්ජක් නෑ. බොන්න දිය පොදක් නෑ. කැකුලියන්ට, කැකුලන්ට අකුරු කරන්න ගුරුවරු නෑ. පාරවල් කැඩිලා. පයින් යන්න බෑ. බස් ඇත්තෙත් නෑ. අපේ රැහේ එවුන්ගේ ප්‍රශ්න විසඳා දෙන්න ඕනෑ. ඒක මගේ යුතුකම.
අපේ රැහේ වැඩි දෙනාට ජීවත් වෙන්න ආදායම් නෑ. රජයේ රැකියා කරන්න උගත්කමක් නෑ, අපිට අත් බෙතකට ඖෂධ පැළයක්
සොයාගන්න කැලේ යන්න දෙන්නේ නෑ. අපිට ජීවත් වෙන්නෙ නැවත කැලැවට යන්න ඕනි නැ. අපේ අලුත් පරම්පරාව මේ සමාජයේ අතරමං වෙනවා. මේ යන විදියට මං ප්‍රාදේශීය සභාවට ඉල්ලන්නේ අපේ සියලුම ප්‍රශ්න විසඳාගන්න අවස්ථාවක් ලැබෙයි කියලා හීතලයි. අපේ නායක වන්නිල ඇත්තන්ගේ ආශිර්වාදය මට ලැබුණා.‘

ඒ. දහනායක - දෙහිඅත්තකණ්ඩිය