බැඳුම්කර සිද්ධිය හා බරපතළ වංචා දූෂණ විමර්ශන පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා පිළිබඳව විවාදය සඳහා පෙබරවාරි 8 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කරන බව
අගමැති රනිල් වික්‍රමසිංහ පසුගියදා දෙණියායේ මොරවකදී ප්‍රකාශ කළේ අභියෝගයක් කරමිනි.

මේ දිනවල ජනාධිපති කොමිෂන් වාර්තා දෙක පිළිබඳව විශාල වාදයක් යන බවත් කතානායකතුමාට අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙස ඉල්ලා ලිපියක් යොමුකර ඇති අතර එම ලිපිය තමා වෙත යොමු කරමින් ඒ සඳහා අවධානය යොමු කරන

මෙන් කතානායකවරයා ලිපියකින් තමන්ට දැනුම් දුන් බවත් එයට අවධානය යොමු කරමින් පෙබරවාරි 8 වැනි දින පාර්ලිමේන්තුව කැදවීමේ ලිපිය අද (29දා) සඳුදා කතානායකවරයා වෙත ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මෙම තීරණය ගැන ප්‍රතිචාර දැක්වූ හිටපු ජනපති මහින්ද කියා සිටියේ 8 වනදා විවාද කළත් 9 හා 10 මැතිවරණ ප්‍රචාරණ තහනම් නිසා ඒ පිළිබඳ විස්තර මාධ්‍ය තුළින් ජනතාව හමුවට නොයනු ඇති බවත් ඒ දින යොදාගත්තේ උපායකට බවත්ය.

මේ අතර මහ බැංකු බැඳුම්කර විවාදය, පාර්ලිමේන්තුවේදී ලබන 8දා පැවැත්වීමෙන් පළාත් පාලන ඡන්දයේදී ගැටලු සහගත තත්ත්වයන් ඇතිවීමට ඉඩ ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව කියා සිටින අතර මේ ගැන අගමැති රනිල් වික්‍රමසිංහ දැනුවත් කිරීමට තීරණය කර තිබේ.