සාමාන්‍ය පෙළ සිසුවිය
නිවසේ මිදුලේදී කපා කොටා මරා

පෙම්වතාත් ගෙලකපාගෙන මැරිලා


පන්නල ජයගම  ප්‍රදේශයේ නිවසකදී  16 හැවිරිදි පාසල් සිසුවියක කපා කොටා ඝාතනය කර එම ස්ථානයේම ඇගේ පෙම්වතා බව කියන පුද්ගලයෙකු ගෙල කපාගෙන මියයාමේ සිද්ධියක් වාර්තා විය.
 එම පාසල් සිසුවිය පාසල නිමවී නිවෙසට පැමිණ ඇඳුම් මාරු කර නැවත නිවසේ මිදුලට පැමිණි අවස්ථාවේදී
මෙම ඝාතනය සිදුකර ඇති බව පරීක්ෂණවලදී හෙළිවී ඇත. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ කඳානේගෙදර ජයගම ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි එච්.ඩබ්ලිව්. රොමේෂිකා චතුරාණි පෙරේරා නමැති සිසුවියකි. ඇය මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක බව පොලිසිය කියයි. මෙම සිසුවියගේ ගෙල කැපූ ස්ථානයේදීම 26 හැවිරිදි තරුණයකුද ගෙල කපාගෙන මිය ගොස් සිටි බව පවසන පොලිසිය මොහු මෙම සිසුවියගේ ගෙල කපා ඝාතනය කොට ඔහුගෙද ගෙල කපාගෙන මිය ගොස් ඇති බව පරීක්ෂණවලදී හෙළිවී ඇත.

හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු මෙම සිසුවියගේ නිවෙසට ඊයේ (3) සවස මල්පොකුරක් සහ පිහියක් රැගෙන පැමිණ ඇති බවත් නිවසේදී පුද්ගලයා සහ සිසුවිය අතර ආරවුලක් සිදුවී ඇති බව පොලිසිය කියයි. මෙම සිද්ධිය වන අවස්ථාවේ ඝාතනයට ලක්වූ සිසුවියගේ දොළොස් හැවිරිදි නැගණිය දිවා ආහාරය ගනිමින් සිට ඇති බවත් මරන්න එපා. කියමින් අක්කා කෑ ගැසූ බව එම නැගණිය පොලිසියට කළ ප්‍රකාශයේ සඳහන් ව ඇත. මෙම සිද්ධිය සමගම කුඩා දැරියගේ කෑගැසීමට නිවෙසට් රොක්වූ පිරිස තුවාල ලබා සිටි පාසල් සිසුවිය කඳානේගෙදර දිසා රෝහලට ගෙන ගියත් ඒ වන විටත් දැරිය මිය ගොස් ඇති බව වාර්තා විය.
මෙම පුද්ගලයා පාසල් සිසුවිය සමග ප්‍රේම සබඳතාවයක් පවත්වා ඇති අයෙකි.
ඔහු කොහු මෝලක සේවය කරමින් සිටි අයෙකි. හලාවත ප්‍රදේශයේ කොහුමෝලක වැඩකරන කාලයේ මේ දෙදෙනා අතර සම්බන්ධය ගොඩනැගී ඇති බව පැවසේ. අනතුරුව ඇය හමුවීමට අවස්ථා කිහිපයකදී නිවසට පැමිණ ඇති අතර ඇය වෙනත් සම්බන්ධයක් ඇති කරගෙන තිබීම ආරවුලට මුල වන්නට ඇතැයි විශ්වාස කෙරේ. සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන සිදුවේ.