මාලිගාවත්තේදී මියගොස් තිබී හමුවූ
සුද්දා කුඩ්ඩෙක්
මැරුවාද - මැරුණාද සැකයක්

පසුගියදා මාලිගාවත්ත - අරලිය උයන ක්‍රීඩාංගනයේ මියගොස් තිබී හමුවූ බ්‍රිතාන්‍ය ජාතිකයා සම්බන්ධ සිද්ධියට අදාළ බොහෝ තොරතුරු මේ වනවිට අනාවරණයවී තිබේ. 37 හැවිරිදි චාල්ස්‌ බෙයා ජීවන් නමැති මොහු මත්ද්‍රව්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහිවුවෙක් බව වාර්තා විය.මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා පසුගිය නොවැම්බර් මාසයේ මෙරටට පැමිණ ඇත්තේ වාද්දුව ප්‍රදේශයේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබා ගැනීම සඳහායි. නමුත් එම ප්‍රතිකාර ක්‍රම අනුගමනය නොකර එහි නවාතැන්ගෙන සිටියදී
වාද්දුව නගරයට ගොස් මත්පෙති වර්ගයක් පානය කිරීම හේතුවෙන් මොහුව ප්‍රනරුත්ථාපනයෙන් නෙරපා තිබෙන අතර පසුගිය දෙසැම්බර් 18 වනදා නැවත බ්‍රිතාන්‍යයට යැවීමට එහි පාලන අධිකාරිය තීරණය කර තිබේ. එලෙස රටින් පිටමං වෙන ලෙස දැන්වූ පසු ඔහු නැවත සියරට යාමට කටුනායක ගුවන්තොටුපළ වෙත ගියත් නැවතත් මත්පෙති අවශ්‍යවී මොහු නැවත කුලී රථයකින් මරදාන ප්‍රදේශයට පැමිණ එහි හෝටලයක සිද්ධිය වූ දිනට පෙර දිනයේදී නවාතැන් ගෙන තිබේ.

එහි සිටියදී ත්‍රීරෝද රථ රියදුරෙකු සහ තවත් පුද්ගලයෙකු මොහුට හමුවී ඇති අතර තමන්ට මත්කුඩු අවශ්‍ය බවට මියගිය බ්‍රිතාන්‍ය ජාතිකයා ප්‍රකාශ කර තිබෙයි.

ඒ අනුව ග්‍රෑන්ඞ්පාස් ප්‍රදේශයෙන් රුපියල් 2000ක් වටිනා මත්කුඩු මිලදී ගෙන ඇති ඔහු ඒවා එන්නත් කරගන්නට එක් පුද්ගලයෙකුගේ නිවසට ගොස් තිබේ. එම අවස්ථාවේ ඔහු හදිසියේ සිහි මුර්ජාවූ බව දැනට මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ලක්වූ එම පුද්ගලයින් දෙදෙනා පොලිසියට පවසා තිබේ. පසුව පරීක්ෂා කිරීමේදී ඔහු මියගොස් සිටි බවත් මළ සිරුර සැඟවීමට අවශ්‍යවී

පසුව ත්‍රිරෝද රථයකින් මොවුන් බ්‍රිතාන්‍ය ජාතිකයාගේ සිරුර මාලිඟාවත්ත - අරලිය උයන ක්‍රීඩාංගනයේ දමා ගිය බවත් සඳහන් කර තිබේ.
අනතුරුව සැකකරුවන් ඔහුගේ ගමන් මල්ල සැකකටයුතු අන්දමින් මරදාන මොහිදීන් මස්ජිද් ප්‍රදේශයේදී පුළුස්සා ඇති බවද පොලිසිය සොයාගෙන තිබේ.
පොලිසිය සිදු කළ පරීක්ෂණ අනුව සිද්ධියට අදාළ ත්‍රීරෝද රියදුරු හා අනෙක් පුද්ගලයා දැන් අත්අඩංගුවේ පසුවේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී මියගිය බ්‍රිතාන්‍ය ජාතිකයාගේ විදෙස් ගමන්
බලපත්‍රය, ගුවන් ටිකට්පත, මුදල් තොගයක් සහ අත්ඔරලෝසුව ද හමුවී තිබෙයි.
මෙය හිතාමතා කළ ඝාතනයක්ද නැතිනම් සුදු ජාතිකයාට ඇතිවූ රෝගී තත්වය මත මියයාමක්ද යන්න පශ්චාත් මරණ පරීක්ෂණය නිමවීමෙන් අනතුරුව තීරණය වනු ඇත.
සිද්ධියට අදාළ පරීක්ෂණ තවදුරටත් සිදුවේ.