දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීම සඳහාම අගමැතිවරයාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක කරන ලද "අමුතු පොලිසියක්" මඟින් කිසිදු පදනමකින් තොර කරුණු ගෙන හැර දක්වමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයාගේද අනුග්‍රහයෙන්
සැලසුම් කොට ඇතැයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඊයේ (25දා) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී්‍රති පද්මන් සූරසේන හා විනිසුරු ශිරාන් ගුණරත්න යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ ජනාධිපති නීතිඥවරයා එලෙස ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් 2015 සැප්තැම්බර් 28 වැනි දින ගොනුකරන ලද "රිට්" පෙත්සම ඊයේ කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.


2015දී වත්මන් රජය බලයට පත් වූ පසු කලින් පැවැති රජයේ දේශපාලනඥයන්ටත් ඔවුන්ට හිතවත්ව කටයුතු කළ අයටත් විරුද්ධව නා නා ආකාරයේ චෝදනා එල්ල කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමටත් මාස ගණන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමටත් ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ යටතේ පෙත්සම්කරුද අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රැඳවීමට අගමැතිවරයාගේ මෙහෙයවීම යටතේ ඇති මූල්‍ය අපරාධ පොලිසිය ක්‍රියාත්මක වුණා.
ඒ සඳහා මුලින්ම ඔවුන් අවස්ථා 3කදී උත්සාහ කළා. පළමුවෙන්ම "ඇවන්ගාඩ්" මුහුදු ආරක්‍ෂක සමාගම පිළිබඳව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හරහා ඔහුව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළා.
ඊට පසු "ඇපලෝ" රෝහලේ අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සභාපති තනතුර සම්බන්ධව ඔහුට අභූත චෝදනා කොට අත්අඩංගුවට ගැනීමට තැත් කළා.
තුන්වැනිව "මිග්" ගුවන්යානා මිලදී ගැනීම යන බොරු චෝදනා ගොතා ඔහුව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළා.
අධිකරණයේ මැදිහත්වීම මත එම අවස්ථා අසාර්ථකව ගියා. ඉන්පසු ඔවුන් සොයා ගත්තේ පෙත්සම්කරුගේ පියා වන දිවංගත ඩී.ඒ රාජපක්‍ෂ මැතිතුමා වෙනුවෙන් එම අනුස්මරණ පදනම ඉදිකළ ස්මාරකය හා කෞතුකාගාරය පිළිබඳව ලිපිගොනුවයි.

එහිදී කිසිම හෝඩුවාවක් සොයාගත නොහැකි වූ විට පාඨලී චම්පික රණවක ඇමැතිවරයා එයට මැදිහත් වී අලුත්ම ඇස්තමේන්තුවක් යොදවා තවත් අලුත් බිලක් නිකුත් කරමින් එකී හිඟ මුදල වහා ගෙවන ලෙසත් නැතිනම් නඩුව දමන බවටත් ඔහුගේ පෞද්ගලික නීතිඥවරයා හරහා "එන්තරවාසියක්" පෙත්සම්කරුට එවමින් නඩුවක් පැවැරීම සඳහා පොටක් පාදා ගත්තා.

මෙහිදී සිදුව ඇත්තේ ජුගුප්සාජනක ලෙස ක්‍රියා කරමින් නැති නඩු නිමිත්තක් ආරෝපණය කොට නඩුවක් නිර්මාණය කිරීමට අගමැති වරයාගේ පොලිසිය ක්‍රියා කිරීමයි.
ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් මීට පෙර නිකුත් කරනු ලැබ ඇති අතුරු තහනම් නියෝගයද ඊළඟ නඩු දිනය වන පෙබරවාරි මස 14 වැනි දිනට පසු දින (පෙබ. 15) දක්වා දීර්ඝ කිරීමටද අභියාචනාධිකරණය නියෝග කළේය.

ජනාධිපති නීතිඥ අල් සබ්රි හා නීතිඥ සනත් විජේවර්ධන ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙත්සම්කරු වෙනුවෙන් ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න නීතිපති වෙනුවෙන් ද පෙනී සිටියහ.

වැඩිදුර නඩු විභාගය පෙබරවාරි මස 14 වැනි දිනට කල් තැබිණි.

කමල් මහේන්ද්‍ර වීරරත්න