යාපනය මහාධිකරණයට නිසි ඇඳුමකින් සැරසී නොපැමිණි පුද්ගලයකුට තරයේ අවවාද කළ යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් මහතා ඔහුව පොලිසිය ලවා එදින උසාවි සංකීර්ණයෙන් ඉවත් කොට තිබේ.
ඔහු පැමිණි ඇත්තේ යාපනය

මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට අදාළව සාක්කි ලබාදීම පිණිසය.
විනිසුරුවරයා පවසා ඇත්තේ පූජකවරුන් සඳහා නියමිත ඇඳුමක්ද සාමාන්‍ය මිනිසුන් සඳහා ගැළපෙන ඇඳුමක්ද ඇතත් මේ තැනැත්තා පැලඳගෙන සිටින ඇඳුම කවරකුටවත් නොගැළපෙන බවකි.

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පිහිටි කෝවිලක ජනවාරි මාසයේදී පැවැත්වෙන උත්සවයකට සහභාගි වීමේ පොරොන්දුව මත පඬුරු ගැට ගසා බාරහාර වී මේ දිනවල කළු ඇඳුමින් සැරසී විශාල ඇට මාල කරේ දමාගෙන උතුරු ප්‍රදේශයේ විශාල පිරිසක් තැන් තැන්වල හැසිරෙති.
ඇතැමුන් උඩුකය නිරාවරණය සිටින අතර මහාධිකරණය වෙත පැමිණි ඇත්තේ එවැනි 'සාමි'වරයෙකි.

ඔවුන් පූජක පිරිසක් නොවූවත් එම ඇඳුම් පැලඳීමෙන් පසුව සෙසු පිරිස් ඔහුව 'සාමි' හා 'අයියප්පර් සාමි' නමින් හඳුන්වයි.
ඔවුන් සිය වෘත්තියේ යෙදෙන්නේද එම ඇඳුමින් සැරැසීගෙනය.
මේ දිනවල යාපනයේ ක්‍රියාත්මක 'ආවා ගෘෘප්' කල්ලියද කළු ඇඳුමින් සැරැසී සිටින නිසා මේ 'සාමි' වරුන් පිළිබඳව බොහෝ දෙනකු සැකයෙන් යුතුව බැලීමට පටන් ගෙන තිබේ.

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ