සංගීත ප්‍රසංගයට යද්දී
වාහනය ප්‍රපාතයට පෙරළී
ජින්ජර් රෝහලේ



ප්‍රකට ගායිකා ජින්ජර් වයිට්‌ දෙනියාය ප්‍රදේශයේ පැවැත්වූ සංගීත ප්‍රසංගයකට සහභාගි වීම සඳහා ගමන් කරමින් සිටියදී අනතුරකට ලක්ව ඇත.
 මෝටර් රථය කොස්‌මෝදර පොලිස්‌ වසමේ දියදාව දිග බෝක්‌කුව අසලදී අඩි 60 ක ප්‍රපාතයකට පෙරළී යාමෙන් සිදුවූ අනතුර නිසා ඇය  ඇගේ 7 හැවිරිදි පුත්‍රයා හා ඥති පුත්‍රයකුද ඇතුළු සිව් දෙනකු
තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
 ඊයේ (28 වැනිදා) අලුයම 1.15 ට පමණ මෙම අනතුර සිදුවී ඇතැයි කොස්‌මෝදර පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක චන්දන අමරතුංග මහතා පැවැසීය.
 අනතුරින් තුවාල ලබා සිටි ජින්ජර් ඇතුළු පිරිස දෙණියාය රෝහලට ඇතුළත් කළ

අතර ජින්ජර් වයිට්‌ වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට මාරුකර යවා ඇත.
 මෝටර් රථය පැදවූ රියෑදුරාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
දෙනියාය පොලිසිය සඳහන් කරන්නේ මේ දිනවල දැඩි වර්ෂාපතනයක් පවතින දෙනියාය ප්‍රදේශයේ මාර්ග ලිස්සා යෑමේ අනතුරු බහුලව දක්නට ලැබෙන බවත් එලෙස රථය වංගුවක් ගැනීමේදී ලිස්සා ගොස් ප්‍රපාතයකට පෙරළී ඇති බවත්ය.
 රිය අනතුරින් ජින්ජර්ගේ 7 හැවිරිදි පුත්‍රයා හා ඥති පුත්‍රයකුද තුවාල ලබා ඇත.
 අනතුර සිදුවීමත් සමගම ප්‍රදේශවාසීන් පැමිණ මහත් පරිශ්‍රමයක්‌ දරා අනතුරට ලක්‌වූ පිරිස මෝටර් රථයෙන් එළියට ගෙන ත්‍රිරෝද රථ දෙකකින් රෝහල කරා යවා තිබේ.
 ප්‍රපාතයේ තිබූ ජින්ජර්ගේ මෝටර් රථය ගොඩටගෙන පොලිසිය වෙත ගෙනගොස්‌ තිබේ. එම රථයට දැඩි හානි සිදුවී ඇත.
මින් ඉහත කොළොන්නාවේ ශ්‍රිලනිප මැතිවරණ අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත්වීමට සූදානම්වූ අවස්ථාවේ ජින්ජර් ගැන දේශපාලන ලෝකයේ ආන්දෝලනයක් මතුවූ අතර පසුව ඇයට නාමයෝජනා නොලැබ තිබුණි.