මෙවර උසස් පෙළ ඉහළින්ම සමත්වී
ලංකාවේ පළමුවෙනියන්වූ අය ගැන වැඩි විස්තර


ජීව විද්‍යා අංශයෙන් ප්‍රථමයා
මාතර සුජාතාහි ඩිලිනි සඳුනිකා


ඩිලිනි සඳුනිකාගේ පියා එල්. පී. පලිහක්‌කාර පුද්ගලික අංශයේ ඉංජිනේරු වෘත්තියෙහි නියෑලෙන මව, එච්.බී.ආර්. සුනේත්‍රා ගෘහණියකි. ඇයට තවත් එක්‌ සහෝදරියක්‌ සිටියි. ඇය ඔසදි පලිහක්‌කාරය. ඇයද මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා

මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ ඉදිරිපත්වූ දියණියකි.

ඩිලිනි සඳුනිකා මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ කනිෂ්ඨ අංශයේ ශිෂ්‍ය නායිකාවක්‌ වන අතර ඇය චෙස්‌ ක්‍රීඩාවෙන් විශේෂ දක්‍ෂතා දක්‌වා ඇති දිරිය දියණියකි. ඇය පාසල් චෙස්‌ ක්‍රීඩා කණ්‌ඩායම නියෝජනය කරයි.
දන්දෙණිය රත්මලේ ප්‍රදේශයේ පදිංචි මේ දිරිය දියණිය මාධ්‍යය වෙත අදහස්‌ දක්‌වමින් කියා සිටියේ ඉදිරියේදී තමා විශේෂඥ වෛද්‍යවරියක්‌ වීමේ අපේක්‍ෂාවෙන් සිටින බවයි. විද්‍යාලයෙන් ලබාදෙන මූලික දැනුම තමාගේ මේ ජයග්‍රහණයට විශාල ලෙස බලපෑ බව ඇය සඳහන් කර සිටියාය.

ගණිත අංශයෙන් ප්‍රථමයා
පේදුරුතුඩුව හාර්ට්‌ලි විද්‍යාලයේ ශ්‍රීධරන් තුවාරකන්


යාපනය පේදුරුතුඩුවේම පදිංචිකරුවකුවන මෙම ශිෂ්‍යයා යුද්ධය හේතුවෙන් යළි පදිංචි වූ පවුලක සාමාජිකයෙකි.
යාපනයේ වඩමරච්චි කලාප අධ්‍යාපන කාර්යාලයේ සම්පත් මධ්‍යස්‌ථානයේ කළමනාකරු වන ශ්‍රී උමයාකතිරගාමම් මෙම ශිෂ්‍යයාගේ පියායි. ඔහු යාපනයේදී මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ තම දරුවා මෙවර විභාගයෙන් ඉහළින් සමත් වන බවට තමන්ට විශ්වාසයක්‌ තිබුණ නමුත් දිවයිනෙන්ම ප්‍රථම ස්‌ථානය දිනාගැනීමට තරම් වාසනාව උදාවන බව තමන් නොසිතූ බවයි.

ඊට හේතු වශයෙන් ඔහු ප්‍රකාශ කොට ඇත්තේ යුද සමයේදී ඉතා කුඩා දරුවකු වූ ශ්‍රීධරන්ගේ අධ්‍යාපන කටයුතු පදිංචිය මාරුවීම, අමතර පන්තිවලට සහභාගිවීමට තිබූ අවස්‌ථාවන් මගහැරීම ආදී හේතුන් මත බිඳ වැටුණු බවයි.
ගණිත අංශයෙන් ප්‍රථම ස්‌ථානය දිනාගත් ශ්‍රීධරන් ශිෂ්‍යයා ඔහුගේ ප්‍රතිඵලය අන්තර් ජාලය ඔස්‌සේ මධ්‍යම රාත්‍රියේම දැක තිබුණත් ඔහු 28 දා උදෑසන පේදුරුතුඩුවේ හාර්ට්‌ලි විද්‍යාලය වෙත පැමිණ තිබුණි.
විද්‍යාලයේ සහෝදර සිසුන් ඔහුව විදුහල්පතිවරයා වෙත රැගෙන ගොස්‌ ඇත්තේ කරමතිනි. විදුහල්පතිවරයාද ඔහුව ඉතා උණුසුම් ලෙස පිළිගෙන තිබේ. විද්‍යාලයේදී අදහස්‌ දැක්‌වූ ශ්‍රීධරන් පවසා ඇත්තේ තමන් උතුරු ප්‍රදේශයෙන් මිදී ඉතා පහසු පළාතකට යැමේ අපේක්‌ෂාව ඇතිව විභාගයට ඉතා වුවමනාවෙන් මුහුණ දුන් බවයි.
''මම විභාගයට මුහුණ දෙන අතරතුර මගේ යාළුවන් එක්‌ක ක්‍රීඩා කරන එකත් මගේ අනෙක්‌ විනෝදාංශත් අමතක කළේ නෑ. ඒ හැම දෙයක්‌ම කළා. ඒත් මගේ හිතේ තිබුණා විභාගය කොහොම හරි පාස්‌ වෙලා ඉංජිනේරුවරයෙක්‌ වෙන්න ඕනේ කියන අධිෂ්ඨානය. අද ඒක සාර්ථක වෙලා තියනවා. මට හරිම සන්තෝෂයි.''


කලා අංශයෙන් ප්‍රථමයා
රත්නපුර ශ්‍රී සද්ධර්මාලංකාර විද්‍යායතන පිරිවෙනේ පද්බේරිය මුනින්දවංශ හිමි



බුද්ධ ධර්මය, සංස්‌කෘත, ඉතිහාසය යන විෂයන්වලින් උසස්‌ පෙළ විෂයන්ට පෙනී සිටි උන්වහන්සේ මෙම ජයග්‍රහණය හිමි කරගෙන තිබේ.
පරිවෙණාධිපති මාවුදැල්ලේ විජයනන්දනාරාම විහාරාධිකාරි මොරාවත්තේ සිරිසුමන නායක හිමිගේ අනුශාසකත්වයෙන් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ ගිණිහිරිය ශ්‍රී සිද්ධාර්තෝදය පිරිවෙනේ වැඩ වසන උන්වහන්සේ ඉතා සරල දිවි පෙවෙතක්‌ ගත කරන හිමි නමකි.
බුද්ධ ධර්මය විෂය නෙල්ලිවල සුමන හිමිගෙන් සහ සංස්‌කෘත විෂය රාජකීය පණ්‌ඩිත අගලගමුවේ ධම්මින්ද හිමිගෙන් සහ ඉතිහාසය විෂය අපවත්වී වදාළ රත්නපුරේ සුමන හිමිගෙන් හදාරා ඇත.
උන්වහන්සේගේ පියා රියෑදුරු රැකියාවක නිරත වන අතර මව ගෘහණියකි.
සහෝදරයන් දෙදෙනකුගේ වැඩිමහල් සහෝදරයා වන උන්වහන්සේ ඉතිහාසය විෂයෙන් ඉදිරියට යැමට බලාපොරොත්තු වේ.


වාණිජ අංශයෙන් ප්‍රථමයා
මාතර සුජාතාහි දුලානි රසංගිකා


දුලානි රසංගිකා ගේ පියා එස්‌. ඒ. ගුණරත්න, මව කේ.එච්.ජී. ලලිතාය. ඇයට තවත් එක්‌ සහෝදරියක්‌ සිටියි. ඇය හෙද වෘත්තියේ නියෑළෙයි. පියා ව්‍යාපාරික කටයුතුවල නියෑළෙන අතර මව සිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සිය කාලය සහ ශ්‍රමය වැයකර ඇත.
එස්‌. ඒ. දුලානි රසංගිකා දියණිය මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමින් කියා සිටියේ

 මුලින් තමා ගණිත අංශයෙන් උසස් පෙළ කරන්නට අපේක්ෂාවෙන් උපකාර පන්තිවලට පවා ගිය බවත් පසුව විදුහල්පතිනියගේ මග පෙන්වීම මත විෂය වෙනස් කර මෙම ජයග්‍රහණය සඳහා යොමුවුණ බවත්ය.

ඉදිරියේදී තමා ගණකාධිකාරිවරියක්‌ වීමේ අපේක්‍ෂාවෙන් සිටින බවයි. විද්‍යාලයෙන් ලබාදෙන මූලික දැනුම තමාගේ මේ ජයග්‍රහණයට විශාල ලෙස බලපෑ බව ඇය සඳහන් කර සිටියාය. එමෙන්ම විදුහල්පතිනිය, ආචාර්ය මණ්‌ඩලය විශාල කැප කිරීමක්‌ කරමින් තමන් ඇතුළු සියලුම සහෝදර සිසුවියන් සඳහා ධෛර්යමත් කළ බවත් විදුහල්පතිනිය සහ ආචාර්ය මණ්‌ඩලයට මෙම ජයග්‍රහණයේ භුක්‌තිය අනිවාර්යයෙන්ම හිමිවන බවත් ඇය ආදරයෙන් සිහිපත් කළාය. තම ජයග්‍රහණය ගැන සතුටට පත්වන බවත් රාත්‍රි කාලය යොදා ගනිමින් විෂය ධාරාවන් ගැන අධ්‍යයනය කරමින් පාඩම් කළ බවත් වැඩි පීඩනයක්‌ තමා වෙත යොමු නොකර ගනිමින් මෙම ජයග්‍රහණය කරා පිය මනින ලද බව ඇය පවසා සිටියාය.


ඉංජිනේරු තාක්‍ෂණ අංශය ප්‍රථමයා
මාතර මහින්ද රාජපක්‍ෂ විදුහලේ පාරමි රන්සිරිනි හෙට්‌ටිආරච්චි


මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයෙන් ලංකාවෙන්ම ඉංජිනේරු තාක්‍ෂණවේදය පළමු ස්‌ථානය දිනා ගැනීමට මාතර වැල්ලමඩම මහින්ද රාජපක්‍ෂ මහා විද්‍යාලයේ පාරමී ප්‍රසාදී රන්සිරිනි හෙට්‌ටිආරච්චි ශිෂ්‍යාව සමත්වී ඇත.
ඇය තාක්‍ෂණවේදය, ඉංජිනේරු තාක්‍ෂණවේදය, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය යන විෂයන්ට "ඒ" සාමාර්ථ ලබාගෙන ඇත. ඇගේ පියා තිලකසේන හෙට්‌ටිආරච්චි දකුණු පළාත් ඉංජිනේරු අංශයේ ප්‍රධාන සැලසුම් ශිල්පියෙකි. මව වන රමණී සුරවීර ආරච්චි දික්‌වැල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු ලේකම්වරියයි. ඇගේ පවුලේ පියා, මව සමග පස්‌ දෙනෙකි. ඇයට බාල සහෝදරියන් දෙදෙනෙකි. ඇගේ අනාගත අපේක්‍ෂාව ඉංජිනේරු අංශයෙන් කථිකාචාර්යවරියක්‌ වීමයි.
5 වසරේ ශිෂ්‍යත්වයද ඇය ඉහළින් සමත්වී ඇති අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ඒ සාමාර්ථ 9 ක්‌ ලබාගෙන ඇත.


පොදු විෂය ධාරාවෙන් ප්‍රථමයා
කොළඹ දේවි බාලිකාවේ හිරුණි ශාක්‍යා අබේතුංග


ඇය කෝට්‌ටේ ආනන්ද බාලිකා විද්‍යාලයෙන් ශිෂ්‍යත්වය සමත්ව මරාදන ආනන්ද බාලිකා විද්‍යාලයට ඇතුළුවී එයින්ද සාමාන්‍ය පෙළ ඉහළින් සමත්වී දේවි බාලිකා විද්‍යාලයට උසස්‌ පෙළ සඳහා ඉදිරිපත්ව මෙම ජයග්‍රහණය ලබාගෙන ඇත.

සිය ජයග්‍රහණය පිළිබඳ හිරුණි ශාක්‍යා ශිෂ්‍යාව  අදහස්‌ දක්‌වමින් මෙසේ පැවසුවාය.
මම කෝට්‌ටේ ආනන්ද බාලිකා විද්‍යාලයෙන් ශිෂ්‍යත්වය සමත්වී මරදාන ආනන්ද බාලිකාවට ඇතුළත් වුණා. එම පාසලේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට විෂයන් 9 යටම ඒ සාමාර්ථ ලබාගෙන දේවි බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා.

මගේ මේ ජයග්‍රහණයට පාසලින් විශාල සහයෝගයක්‌ ලැබුණා.මම පාසල් තූර්යවාදක කණ්‌ඩායමේ ට්‍රම්පට්‌ වාදනයට සහභාගි වුණා. විභාගයට පෙර මම එදිනෙදා කටයුතු එදිනෙදා කර අවසන් කිරීම නිසා විභාගයට ලොකුවට මහන්සි වෙන්න අවශ්‍ය වෙලා තිබුණේ නැහැ. මම සාමාන්‍ය පෙළින් ඉහළින්ම සමත් වුණාම වෛද්‍ය, ඉංජිනේරු යන විෂයන් තෝරා ගැනීමට හැකිවුණත් මම පොදු විෂය ධාරාව යටතේ විභාගයට පෙනී සිටින්න තීරණය කළා. මේ විෂය උගන්වන පිsරිස අඩුයි. මම මේ විෂය තුළින් රටට විශාල සේවයක්‌ කරන්න තමයි අපේක්‌ෂාව.

මගේ අම්මා නිර්මලා අබයතුංග ඇය පෙර පාසල් ගුරුවරියක්‌. පියා සංගීත ගුරුවරයෙක්‌. නංගි මෙවර සාමන්‍ය පෙළ විභාගයට පෙනී සිටියා. මම විභාගයට පෙනී සිටින නංගිලා මල්ලිලාගෙන් ඉල්ලා සිටින්නේ විභාගයට පෙර සූදානමින් තමන්ගේ වැඩ කටයුතු කල්වෙලා ඇතිව කරගන්න. එතකොට විභාගයට කියල මහන්සි වෙන්න දෙයක්‌ නැහැ කියලා.

 ජෛව පද්ධති තාක්‍ෂණවේදය ප්‍රථමයා
රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ලක්ෂිත චතුරංග මැදලගම



රත්නපුර හිදැල්ලන ප්‍රදේශයේ පදිංචි ඔහු පළමුවන ශ්‍රේණියේ සිටම අධ්‍යාපනය හදාරා ඇත්තේ හිදැල්ලන සීවලී මධ්‍ය විද්‍යාලයෙනි. විද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙකි. විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු ද වන ඔහු ඉගෙනුම් කටයුතුවලට මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම්වලව ද මුලිකත්වය දුන් අයෙකි.
‘මම පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත්. සාමාන්‍ය පෙළ විභාගයේ දී ඒ 8සි බී.1යි. උසස් පෙළට ජෛව පද්ධති තාක්‍ෂණවේදය විෂය තෝරාගත්තේ විග්වවිද්‍යාලයට් යන්න ඉඩකඩ වැඩිය තිබුණ හින්දයි. ඉහළ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණත් ලංකාවෙන් පළමුවැනියා වෙයි කියලා හිතුවේ නැ. මම විෂයයන් තුනටම් අමතර පන්ති සියා. ඊට අමතරව ඉස්කෝලෙදී මිස්ලා සර්ලා ඉගැන්නුට් කරුණු විශේෂ ප්‍රායෝගික පරීක්‍ෂණ උනන්දුවෙන් කළා. ඇත්තටම් ඉස්කෝලේ විදුහල්පති සර්ගේ උපදෙස් මත හැම ගුරුවරයෙක්ම අපිට උනන්දු කළා. ඉස්කෝලේ ඉගැන්වීම් පැය හයට සීමා වුණේ නෑ. අමතරව පන්ති කළා. මගේ ජයග්‍රහණයට ප්‍රධාන හේතුව එය කියලා විශ්වාස කරනවා.' ලක්‍ෂිත පැවසුවේය.